Thursday, July 24, 2008

හෙට සිංහළ

සිංහ"ළ" යුනිකේත භාවිතයත් සමඟ සිංහළෙන් ලියන්නන් ගණන ඉහල යමින් ඇත. එහි ප්‍රතිඵලය වූයේ බස පිළිබඳ සංවාද බස පිළිබඳ වියතුන් නොවන අප අතරද ඇති වීමයි. මෙම සටහටහන තැබීමට සිත්වූයේ සිංහළ බ්ලොග්කරුවන්ගේ එකතුවේ සිදු වූ සංවාදයක් නිසාය. එහිදී මතුවු අදහසක් නම් මුර්ධජ අකුරු ඉවත් කීරීම සිංහළයේ අනාගත පැවැත්මට හිතකර වේය යන්නය. මෙලෙසින් සිංහළ නවීකරණය කිරීම සඳහා වූ අදහස අඩ සියවසකට පමණ පෙර ඉදිරිපත් වූ අදහසක් බව මා හට දැනගැනීමට ලැබිනි. මෙලෙස සිංහළය රැක ගැනීමට ඉදිරපත් වී ඇති ප්‍රධානම කරුණු දෙක මෙම වියණු සටහණින් උපුටා දක්වමි.

-------------------
(1) මූර්ධජ අකුරු, බැඳි අකුරු ඉවත් කර පිලි සහ හල් අකුරු සමරූප කල යුතුයි.

(2) වියරනය ජීවමාන බසේ (ඒ කියන්නේ කතා කරන භාශාවේ) වියරනය විය යුතුයි. අලුත් වියරන නීති රීති හදනවා නම් ඒවාත් උපුටාගත යුත්තේ කතා කරන බසේ රීතිය තුලින්.
--------------------


මෙවිට සිංහළය රැකෙන්නේ කෙසේද? මෙවිට සිංහළ බසෙහි ඇති සංකීරණතා ඉවත් වී එය භාවිතා කිරීමට පහසු වේය යන්නය. මෙම අදහස 1960 ගණන් වල සිට ඉදිරිපත් වෙමින් තිබෙන අදහසක් බව පැහැදිලිය. මට අවබෝධ වන ලෙසට මෙහිලා මූලිකත්වය ගත්තේ යුරෝපීය සරසවි වලින් නූතන වාග් විද්‍යාව හදාරා පැමිණි අය සහ ඔවුන්ගේ ගෝල බාලයන්ය. මෙම පියවර මඟින් සංකීරණතා ඉවත්වේය යන්නට මමද එකඟ වෙමි. නුමුත් සංකීරණතා යන්න සාපේක්‍ෂ මිණුමක් පමණි. සංකීරණතා ඉවත් කිරීම (මෙය ඉවත් වීමක් නොවේ ඉවත් කිරීමකි.) කොතනින් අවසන් වේද?

බසක් සැමදා එක ලෙස නොපවතින බව සැබෑව. සිංහළවල ආකාර දෙකක් ඇත. එනමි ලියන බස හා කතා කරන බස යනුවෙනුයි. නමුත් නුදුරු අනාගතයේදීම ලියන බසෙහි ආකාර දෙකක් ඇතිවීම වැලකිය හැකි නොවේ. එනමි දැනට පවතින ලියන බස හා කතා කරන අයුරින් ලියන බස. මෙයට ප්‍රධානම හේතුව වන්නේ කලින් (වියරණ අනුගමනය කළ) සීමිත පිරිසක්‍ යෙදුන සිංහළෙන් ලිවීම , යුනිකේත නිසා විශාල පිරිසක් අතර පැතිර යාමය. එලෙස බස වෙනස් වීම වැලකිය හැකි නොවේ. විලිපියක්(email) කතාකරන බසින් ලිවීමෙන් වඩා සමීප බවක් දැනේ. නමුත් තර්කානුකූලව තේරුම් ගත යුතු දෙයක් එලෙස ලිවීමෙන් තවත් අවුලට පත්විය හැක. එනිසා මේ ආකාර දෙකම ඉදිරියේදී තුරුදැලේදී අපට හමු වෙනු ඇති. නමුත් මෙලෙස සිංහළ බස රැක ගැනීමට යැයි කියමින් මුරධජ ඉවත් කිරීම, කතා කරනබසේ වියරණ පිළිගත් වියරණ බවට පත් කිරීම වැනි බලෙන් කරන වෙනස්කම් වලට පිරිසක් විරුද්ධ වනනේ මන්ද යැයි විමසා බැලීම වටී.

ලෝකය සත්‍ය වූ එකම දෙයක් ඇත. එකම නියමයක් ඇත. එය ඇත්තේ බටහිර දැනුමෙහිය. එනිසා සෑම දෙයක්ම එක් දෙයකට ඌනනය කිරීම (unifiction) ඔවුන්ගේ උත්සාහයයි.

1. අද ලෝකයේ විද්‍යාවන් ඇත්තේ එකක් පමණි. එයට හේතුව එය නිවැරදි වීමද? (භෞතික විද්‍යාවේ එන හේතු දැක්වීම් කතන්දර පමණක් බව එය යන්තම් හෝ උගත් අයට වැටහෙනවා ඇත) එය දියණු වූයේ අනෙකුත් දැනුම් පද්දතීන්ගෙන් දැනුම උරාගෙන එය තමන්ගේ දැනුමක් බවට පත් කරගැනීමෙනි. ඉන්පසු එම ජාතීන් තම බලය හා සිප්ලකුව(තාක්‍ෂණය) යොදා එම දැනුම අන් ජාතීන් මත බලෙනි පැටවීමෙනි.

2. වෛද්‍ය විද්‍යාව කී විට සිහියට නැගෙන්නේ බටහිර වෙදකම මිස අන්කිසිවක් නොවේ. විද්‍යාවේම කොටසක් වුවත් වෙනම ඉදිරිපත් කළේ තවම ඉතිරි වූ වෛද්‍ය ක්‍රම දක්නට ඇතිනිසයි. නමුත් මෙම සියළු දැනුම් ඔවුන්ගේ ක්‍රමය තුල ක්‍රියාත්මක කිරීමත් සමඟ අනෙක් ක්‍රම නැතිවී යනු ඇත.

3. ලෝකයේ දැනට ඇති ප්‍රධානම ආගමික හා සංස්කෘතික ගැටීම ක්‍රිස්තියානි හා ඉස්ලාම් ගැටීමයි. මෙයට මා දකින ලෙස හේතුවනම් ආක්‍රමණකාරී(වර්තමානයේ සංස්කෘතික ලෙස.) ක්‍රිස්තියානි ආගම දැඩිමතධාරී ඉස්ලාම් ආගම සමඟ ගැටීමයි. මෙය ඔවුන් අතින්ම හොඳින් විවරණය වි ඇති Samual Huntington ගේ Clash of Civilizations යන ලිපිය බලන්න.

බස යනු සංස්කෘතියක කොටසකි. යම් සංස්කෘතියක් විනාශ කිරීමට ඇති හොඳම මගකි එම රැසෙහි බස මැරීම. මෙයට ඔවුන් හොඳින්ම යොදා ගත්තේ එංගලන්තයේ හා ඇමෙරිකාවේ "SINHALA" ඉගෙනුමට ගිය පඬුවෝය. මේ තත්ත්වය මැනැවින් දුටුවකු වශයෙන් හැඳින්විය හැකි රැ. තෙන්නකෝනුන් සිය සිදත් සඟාවේ 'සුලමුල' යටතේ සෝපහාසයෙන් සඳහන් කැර ඇති පහත සඳහන් කැඩියෙන් කියන්නේ කිමෙක් දැ'යි බැලුව මැනැවි.

"මේ ඉංගිරිසි පඬුවන් ගෙන් සිය බසට පැමිණෙන විපත ආදි සකු මග ද පඬුවන් ගෙන් එයට පත් පිරිපතට වැඩියෙන් දරුණුයි. දැන් මූ තුමු සිය බසින් ඇති පතට පොතට හා සිය බසටත් කොට කලිසම් අඳවන්නට පටන්ගෙන සිටිති."
(උපුටා ගැනීම 2007-10-14, සිළුමිණ "වාග්විද්‍යාඥයා වියරණ ඇදුරා ගේ කාර්යයට අත ගැසීම" ලිපියෙනි.)

එසේ උගෙන පැමිණි "නූතන වාග් විද්‍යාඥයන්ගේ" හා ඔවුන්ගෙන් පැචතෙන්නන් පැතිරවූ අදහස වූයේ "සංවරව ලිවීමට ව්‍යාකරණයක් අවශ්‍ය ය යන්න බොරුවක්, අදහස වැටැහේ නම් කෙසේ ලියුවත් වරද කි ම, කතා කරන සැටියෙන් ම ලිවීමේ වරද කිමෙක් ද, ප්‍රකාශන විධිවල හරි වැරැදි කියා යමක් නැත. බසට තිබිය හැක්කේ එක ම සම්මත ව්‍යාකරණ විධියක් පමණක් නොවේ" යන්නය.

මා හට තේරුම්යන ආකාරයට මෙවැනි අදහස් පැතීරීමට ප්‍රධානම හේතුව වූයේ බටහිර සරසවි වලදී උගත් වාග් විද්‍යාව පිළිබඳ මූලධර්ම ගෙඩි පිටින් සිංහළ බසට ආරෝපනය කිරීමයි. තවද වාග් විද්‍යාඥයින් තමන්ගේ රාජකාරිය වන භාෂා විශ්ලේෂණය පසෙකින් තබා බස වෙනස් කීරීමට යාම අනෙක් හේතුවයි. (ඉහත සිළුමිණ ලිපිය කියවන්න.)

වාග් විද්‍යාව යනු කිමක්දැයි සෙවීමට මම තුරුදැල්සැරියක් ගියෙමි. මෙම ක්‍ෂේත්‍රයේ මා හට ඇති දැනුම අඩු වුවත් සිදුව ඇති දේ වඩාත් පැහැදිළි විය. විකීපීඩියාවට අනුව වාග් විද්‍යාවේ අරමුණ ( විකියේ මෙසේ පැහදිලි කර ඇත) බස පිළිබඳ හැදැරීමයි. නමුත් ලංකාවේ වාග් විද්‍යාඥයෝ මේවා උගෙනවුත් සිංහළට ගෙඩිපිටින් යෙදූහ. ඉන් නොනැවතුන ඔවුහු සිංහළ බස වෙනස් කීරීමටද පටන් ගත්හ.

බටහිර භෞතික විද්‍යාවේ එන ඌනනය කිරීමේ න්‍යායය බටහිර සමාජ විද්‍යාඥයින් යොදාගත් ආකරයයි මේ. නූතන වාග් විද්‍යාවේ ප්‍රධානතම පඩුවෙක ලෙස සැලකෙන යුදෙව් ජාතික Noam Chomsky ගේ න්‍යායන්ගේ පදනම මෙයයි.

Linguist Noam Chomsky made the argument that the human brain contains a limited set of rules for organizing language. In turn, there is an assumption that all languages have a common structural basis. This set of rules is known as universal grammar.


මෙම සමාජ විද්‍යාඥයින් බටහිර භෞතික විද්‍යාඥයින් අනුගමනය කළද ඔවුන්ගේ න්‍යායන් වලට භෞතික විද්‍යාවේ තරම් පදනමක් නොමැත. නිව්ටන් පඬුවාගේ න්‍යායන් අයින්ස්ටයින් පඬුවා(මෙයින අයින්ස්ටයින්ගේ න්‍යායය නිවැරදියැයි අදහස් නොකෙරෙ.) වැරදියැයි කීවද අපට නිවුටන්ගේ න්‍යායයන් උපයෝගී කරගෙන ගුවනින් බෝම්බයක් නිවරදි ඉලක්කයට දැමිය හැක (මෙය උදාහරණයක් පමණි.). නුමුත් අපගේ පඬුවෝ මෙම මතවාද ගෙඩිපිටින් සිංහළට යොදා ගැනීමට පටන් ගත්හ.

මට වැටහෙන ලෙස Linguistic_minimalism හා එවැනිවූ තවත් ක්‍රම වලින් සන්නද්ධ වූ අපගේ පඬුවෝ මුරධජ ඉවත් කිරීම, ව්‍යවහාරයෙන් වියරණ නීති සැදීම පටන් ගත්හ. ලංකාවේ පළමු වාග් විද්‍යාඥයා වන සුගතපාල ද සිල්වා පඩුවානන්ගේ අදහසක් 2007-06-17, සිළුමිණ "බස අවුල් වූ දාට සියල්ල අවසන් ය‍" ලිපියෙන් උපුටා දක්වමි.

" 'මම යනවා' කියනවා වෙනුවට 'මම යමියි' කියන ලෙස උගන්වන්නට යොදන කාලය ඊට වඩා ප්‍රයෝජනවත් දෙයකට යොදාගත හැකියි."

මොවුන්ගේ ප්‍රධාන වැකියක් වනනෙ සිදත් සඟරාවේ එන "වහරනු සෙරෙන් සපයා" එනම ව්‍යවහාරය ඇසුරෙන් සපයන්න. එනම් වත්මන් ව්‍යවහාරයේ එන මෙම වදන් (අසභ්‍ය යැයි සිතිය හැකි දේ තිබිය හැකියි) හා මෙවැනි කියුම් වැනි දේදැයි මා හට පැනයක් ඇත. නුමුත් මොවුහු මෙහි පළමු පදය සඟවති. සම්පූරණ වැකියනම් "අනු රූ සේ පියෝනන්- වහරනු සෙරෙන සපයා" එනම් "උගතුන්ගේ යෙදීම් අනුව, ව්‍යවහාරය ඇසුරෙන් සපයන්න." යන්නයි.

නමුත් මෙම පඬුවන් (පඬියන් යන්නද සමාන පදයකි.) කරන එක් හොඳ දෙයක් ඇත. එනම් මෙවැනි දේ බලෙන් පටවන්නට යාමයි. මෙවිට සිදුවන්නේ ප්‍රතිරෝධයක් ඇති වී (මෙය නිව්ටන්ට අනුව සමාන හා ප්‍රතිවිරුද්ධ නොව, අගයෙන් වැඩි ප්‍රතිවිරුද්ධ බලයකි) ස්වභාවිකව සිදුවන වෙනස් වීමත් ප්‍රමාද වීමයි. මට කීමට ඇත්තේ මෙපමණයි "හෙළයිනි හෙළ බස රැක ගනිව්" යන්නයි.

ප. ලි. වියරණ හෝ වචන වල දොසක් ඇත්නම් පවසනු මැන.

Monday, July 21, 2008

වියරණ දොස් පෙන්වනු මැන.

මම දින කීපයට පෙර හෙළ බස නැවත ඉගනුම ඇරඹුවෙමි. මාගේ වියුණු සටහන් වියරණ දොස් රහිතව ලිවීමයි මාගේ වෑයම. එනිසා මාගේ වියණු සටහන්වල වියරණ දොස් තිබේනම් පෙන්වා දුන මැනවි. ඔබට පිං.

වියුණු සටහන නැවත ලිවීමට ඇරඹූ දිනවල මැයක් නොමැතිව සැරිසරන විට මගේ සිත, ඇසුණි කන්කලු ගීතයක්. සිතුවෙමි තබන්නට සටහනක් ඒ ගැන.

කනට මී පැණි වක්කරන්නාක් බඳු වූ ගීතය සිත්විය ඇසීමට නැවත වරක්. නමුත් මේ වර දුටුවෙමි වියරණ දොසක්.


ගහක මල් පිපිලා - පිපෙන්නේ ඇයි ද නොදන්නෙමී
හිතක මල් පිපිලා - පිපෙන්නේ ඇයි ද නොදන්නෙමී
නුඹට සිත බැඳුනේ කිමැයි - මා තවම නොදන්නෙමී
නුඹට සිත බැඳි කාරනේ - මම තවම සොයන්නෙමී

තාලය රැකීමට එය කළා විය හැකියි. නමුත් "මම යනවා" වැනි කතා කරන බසින් ලීවිමටත් වඩා එය වැරදි නොවේද?


ප.ලි. : කනට මී පැණි වක් කල විට කනට කූඹින් නොපැමිණේද? :-)

ගැට පදය: මැය = මාතෘකාව

Sunday, July 13, 2008

දෙවියන්, කර්මය හා නිවන

සර්ව බලධාරී දෙවියන් සියළු දේ මැවූ බව සමහර ආගම් වල විශ්වාසයයි. මෙම විශ්වාසය මා හට පිළිගත නොහැක. නමුත් එම ආගමික විශ්වාසය වැරදි බව කා හට හෝ කිව නොහැක. එසේ වන්නේ එම කරුණු අපගේ පන්ච ඉන්ද්‍රියන්ගෙන්(මනසත් සමඟ හයකි) ඔබ්බෙහි නිසාය. නමුත් එය විශ්වාස කිරීමට වඩා අවිශ්වාස කිරීමට කරුණු මා හට ඇත. මගේ අදහස වන්නේ දෙවියන් යනු අපට විස්තර කිරීමට නොහැකි දෙයක් විස්තර කිරීමට යොදා ගන්නා සංකල්පයක් බවයි.

දේව සංකල්පය මෙන් අපට නොදැනෙන දේ විස්තර කිරීමට යොදා ගන්නා සංකල්ප අනෙකුත් ආගම් වලද දක්නට ඇත. කර්මය ඉන්දියානු ආගම්වල යම් යම් සිදුවීම් විස්තර කිරීමට යොදා ගනිති. හින්දු, බෞද්ධ හා ජෛන යන ආගම් වල කර්මය විවිධ ආකාර වලට විස්තර කෙරෙති. මා හට තේරුම් යන ලෙස කර්මයද අපට විස්තර කිරීමට අපහසු සිදුවීම් විස්තර කිරීමට යොදා ගන්නා සංකල්පයකි. මෙයද දෙවියන් මෙන් අපගේ සංවේදනයට හසු නොවන සංකල්පයක් වේ. නැතිබව කිව නොහැක ඇතිබවක්ද නොපෙනේ. බුදු දහමේ කර්මය ප්‍රතික්‍ෂේප නොකරන නමුදු එයට ඉහළ තැනක් දී නොමැත.

මෙම සංකල්ප වලට පක්‍ෂ පිරිස නගන තර්කයක් නම් මේවා සත්‍ය හෝ අසත්‍ය වුවත් මෙමගින් මිනිසුන් වැරදි දේ කිරීමට නොපෙළඹෙන බවය. නමුත් වැරදි දේ කරන්නෝ දෙවියන් හෝ කර්මය ගැන හෝ නොසලකති. ලෝකයේ ආගම වෙනුවෙන් කොපමන මිනිසුන් සංඛ්‍යාවක් මිය යනවාද. එසේම හොඳ දෙයක් කිරීමට දෙවියන් හෝ කර්ම ඵලය අවශ්‍ය නොවේ.

නිවනද බෞද්ධ අප විශ්වාස කරන තවත් සංකල්පයකි. අපගේ පරම පැතුම නිවන් දැකීමයි. නිවන ඉහත සංකල්ප දෙකෙන් වෙනස් වේද නොවේද. නිවන් ලඟා කරගත් විට අපට නැවත ඉපදීමක් නොමැත. මතු පිටින් බැලූ විට නිවනද ඉහත සංකල්ප වලින් වෙනස් නොවේ.

නමුත් මා හට අනෙකුත් සංකල්ප වලට වඩා නිවන වෙනස් බව සිතේ. බුදු දහමේ දුක හා දුකට හේතුව පිළිබඳ කර ඇති විස්තරය සත්‍ය ලෙස ගත හැක. එබැවින් දුක නැති කිරීමේ මාර්ගය හා දුක නැති කිරීමද සත්‍ය විය හැක. එනම් සියලු දුක් වලින් තොර නැවත ඉපදීමක් නැති නිර්වානයද සත්‍ය විය හැක. (අසත්‍යද විය හැක. නිවන් අත්දුටුවන් එය දන්නවා ඇත.) දුකට අමතරව බුදු දහමේ අනිත්‍ය හා අනාත්ම බව පිළිබඳව කර ඇති විස්තරද ඉතා විශිෂ්ඨය.

නමුත් මේ ලෝකයේ ඇති සියලු දේ අපගේ මනස විසින් ඇති කරන ලද මායාවක් බව සත්‍යයකි. කාලය, අවාකාශය යන මායාවල් තුලින් අපගේ ලෝකය අප මවාගෙන ඇත. මා මෙම සටහනේදී උත්සාහ කලේ සත්‍යය කුමක්ද අසත්‍යය කුමක්ද යන්න තේරුම් ගැනීමටයි. නමුත් සත්‍ය හා අසත්‍ය යන සංකල්පද අපගේ මනස විසින් පන්ච ඉන්ද්‍රියන්ගේ උපකාරයෙන් නිර්මාණය කළ දේ නොවේද?

Saturday, July 12, 2008

තැප්‍රොබේන්

තැප්‍රොබේන් ලිනකස් ගැන තුරුදැලේ සොයනා විට මා හට තැප්‍රොබේන් ලිනක්ස් වලට අමතරව විවිධ තොරතුරු හමුවිය. තැප්‍රොබේන් යනු අතීතයේදී ශ්‍රී ලංකාව හැදින්වීම සඳහා යොදාගත් නාමයක් බව සියළු දෙනා දන්නා කරුණකි. නමුත් මෙම නාමයට අතීතයේදී තවත් රටවල් සඳහා භාවිතා වී ඇත. මැඩගස්කර් සිට සුමාත්‍රා දක්වා දූපත් හැදින්වීමට විවධ අවස්ථාවන්හිදී විවිධ පුද්ගලයන් විසින් තැප්‍රොබේන් යන නාමය යොදා ගැනිනි. නමුත් බොහෝ දෙනා පිළිගන්නා මතය වන්නේ තැප්‍රොබේන් යනු ලංකාව හැදින්වීමට යොදාගත් නාමයක් බවයි.

ශ්‍රී ලංකාව තම්බපන්නි යනුවෙන් ඉන්දීයානුවන් අතර මුලින්ම හැදින්විනි. මෙයට හේතු වූයේ විජය ලංකාවට ගොඩබැසූ ස්ථානයෙ වැලිලේ පාට බව කියැවේ. මේ අතර ග්‍රීක හා රෝම වැසියන් ක්‍රි.පූ. කාලයේ සිට තැප්‍රොබේන් යන දූපතක් ගැන දැන සිට ඇත. මුලින්ම තැප්‍රොබේන් ගැන සඳහන් කරන්නේ Onesicritus යන ග්‍රීක ඉතිහාසඥයාය. ඔහු මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා සමඟ ආසියානු මෙහෙයුමට සහභාගී වුවෙක් ලෙසට සැලකේ. ග්‍රීක හා රෝම වැසියන් අතර තැප්‍රොබේන් යනු වෙනත් ලෝකයාක්ද නැතහොත් විශාල දිවයිනක්ද යනුවෙන් මතභෙදයක් තිබී ඇත.

ඉන්පසු ක්‍රි.ව. පළමු සියවසේදී Claudius Ptolemaeus (Ptolemy) නොහොත් ටොලමි විසින් ලෝකය සිතියම් ගත කරන ලදී. මෙහිදී ඔහු තැප්‍රොබේන් ඉන්දියාවට දකුණින් තැප්‍රොබේන් දක්වා ඇත. විශේෂ කාරණය වන්නේ නියම ප්‍රමාණයට වඩා හය ගුණයක් පමණ විශාලව ලංකාව දකිවා තිබීමයි. නමුත් ග්‍රීක හා රෝම රාජ්‍යයන්ගේ අභාවත් සමඟ මෙම දැනුම නැතිවී ගියේය. මේ අතර කාලයේ ලංකාව සෙයිලම් නමින් යුරෝපීයන් අතර ප්‍රචලිත විය. පහලොස්වන සියවසේදී පමණ ටොලමිගේ නැතිවූ සිතියම් නැවත හමුවී ඇත. එනිසා එකල ඇඳි සිතියම් වල ලංකාව සෙයිලම් නමිනුත් තැප්‍රොබේන් යන්න සුමාත්‍රා වලටත් යෙදී ඇත. තැප්‍රොබේන් වල විසිතර ලංකාවට වඩා සුමාත්‍රා වලට ගැලපෙන බව එකල සිටි පිරිස් සිතන්නට ඇත.

මෙම නිසා දහනමවන හා විසිවන සියවස්වල තැප්‍රොබේන් යනු ලංකාවද නැතිනම් සුමාත්‍රාද යන්න පිළිබඳ වාදයක් තිබී ඇත. නමුත් සාක්‍ෂි වැඩි වශයෙන් නැඹුරු වුයේ ලංකාව දෙසටය. තැප්‍රොබේන් වල අලි හා කුරුඳු ගැන විස්තර ලියවී තිබේ. අලි ඇතුන් දෙරටේම සිටියද ලංකාවේ අලි ඉන්දියාවේ හා යුරෝපයේ ප්‍රචලිත වී තිබී ඇත. තවද ලංකාවේ දියුණු ශිෂ්ඨාචාරයක් ඉතා අතිතයේ සිට පැවතිනි. ටොලමිගේ සිතියමේ දැක්වෙන නම් ලංකාව සමඟ හොඳින් ගැලපේ. තැප්‍රොබේන් පළමුව ලංකාව හැඳින්වීමට යෙදුනු අතර පසුව ක්‍රි.ව. පහලොස්වන සියවසේ පමණ වැරදීමකින් සුමාත්‍රා හැදින්වීමට යොදාගෙන ඇත.

අතිතයේ සිටම යුරෝපියන් තැප්‍රොබේන් පිළිබඳ ඉතා උනන්දුවක් දක්වා ඇති බව ඉතා පැහැදිලිය. මෙයට හේතුවූ කරුණු මොනවාද යන්න අප සොයා තිබේද?