Saturday, September 20, 2008

මා නැරඹූ අබා.

අබා තිරගත වී කල් ගත වී ඇත. එහෙත් මා හට අබා නැරඹීමට හැකියාවක් නොවීය. ලංකාවට පැමිණි විගසම මා හට අබා නැරඹීමට සිත් වූ යේ මේ දින වල අබා ගැන නොයෙකුත් වාද විවාද පැවැත්වෙන නිසා ය. අබා නැරඹුවෙමි. පුළුල් තිර චිත්‍රපටියක් වුවත් මා නැරඹු ශාලාවේ එය පෙන්වීමට තරම් පහසුකම් නො තිබුනි. දසුනෙන් කොටසක් තිරයේ සීමාවෙන් එපිට ද දර්ශනය විය. මා නැරඹුවේ පෙ.ව. 10.30 දර්ශනය‍ යි. ශාලාවෙන් අඩකට වඩා සිටියේ පාසල් සිසු සිසුවියන් ය. අබා ගැන නොයෙකුත් දේ කියවා තිබූවත් එම කරුණු වලින් මා සිත නිදහස් කරගෙන එය බැලීමට උත්සාහ ගතිමි. මෙය චිත්‍රපටි විචාරයක් නොවේ. අබා ගැන මා ගේ අදහස් ය.

අබා ඇරඹෙන්නේ බ්‍රාහ්මීය අක්‍ෂ්‍ර වලින් ලියැවුනු අබා වත්මන් සිහළ අකුරින් ලියවෙන අතර තුර ය. පසුබිමෙහි කුමාරයා සටන් ශිල්ප දක්වනු පෙනේ. මා හට මතක් වූ යේ වූෂු සටන් කලාව වේ එන ශිල්ප ක්‍රමයි. එය අබා ගේ කාලයට ගැලපේ ද? කුමාරයාගේ ඉපදීම මෙහි එන පළමු දසුන් පෙළ යි. එය චිත්‍රපටියෙන් සැලකිය යුතු කාලයක් ගිල ගනි යි.

චිත්තරාජ ගේ හිස ගසා දමන අවස්ථාව මා හට ජෙසූ තුමාට කුරුසියේ ඇන ගසන අවස්ථාව සිහි කර වී ය. මෙහි ඇති ඇඳුම් පැළදුම් එම අවස්ථාව අප සංස්කෘතියට ගැලපෙන්නේ නැති බව ඉතා පැහැදිලි ය. ඇඳුම් වලින් ශෝකය ත්‍රාසය අපට දැන්වීමට ජැක්සන් මහතා උත්සාහ ගත්තා විය හැකි යි. නමුත් චිත්‍රපටියේ අනෙක් අවස්ථා වල එවැනි උත්සාහ දරා නැති නිසා එම අදහස ද සධාරණ නොමැත. අනෙක මෙය හඳගමගේ චිත්‍රපටික් නොවේ. මෙම දසුන් පෙළ සිහළ සංස්කෘතියට හැලපෙන අයුරින් කළේ නම් මෙවැනි විවේචන අබා ගැන නොනැගෙන්නට ඉඩ තිබුනි. එසේ වූ යේ නම් මා අබා නොබලන්නට ඉඩ තිබුනි.

චිත්‍රපටිය පුරාවටම මා හට යම් සමීප බවක් දැනුනි. රොබින් හූඩ් සහ කුමාරයා අතර සමීප බවකි ඒ. කුමාරයා දුන්නෙන් විදින ආකාරය හා රොබින් හුඩ් අතර සැබැඳියාව එයට හේතු වූ වා විය හැකි ය. එය පමණක්ම නො වේ. හර්න් දෙවියන් හා චිත්තරාජ අතර ද සබැඳියාවක් මා හට දැනුනි.

බොහෝ අවස්ථා වල විහිළුමය ස්වරූපයක් ගනු ලැබෙනු දක්නට ලැබිනි.‍ අඩ බෙර කරු බොහෝ අවස්ථා වල විහිළු කරුවෙක් බවට පත් කොට තිබුනි. ඉතා මහත දරුවෙක් සටන් වලට යොදා ගැනීම ද එහි එක් අවස්ථාවකි.

හබරා අවුරුදු 15ක් ගත වුවත් වයසට යන්නේ නැත. දොරමඩළාව ද වෙනස් වන්නේ නැත. මා හට මෙය ළමයින් සඳහා කළ නිර්මාණයක් යැයි සිතිනි. නිර්මාණයේ සිප්ලකුව හැර රස විඳිමට ඇත්තේ සෞමිය ලියනගේ ගේ රඟපැම පමණ ය. අනෙක් චරිත වල රස විඳීමට යමක් නොමැත. ළමුන් සඳහාම නිපැය වූ සූරිය අරණ චිත්‍රපටිය මා මෙයට වඩා රස විඳි බව ද කිව යුතු ය.

මෙහි කියවෙන ඉතිහාස කතාව ගැන සංවාදයක් ගොඩ නැගීම ඉතා අවැසි යි. මෙය චිත්‍ර පටියක් බව සැබවි ය. නමුත් මෙය සිහළ ජනයා ගේ ඇරඹුම ගැන කියවෙන්නකි. සිහළයන් ගේ ඇරඹුම ගැන සංගත ප්‍රවාදයක් ගොඩ නැගීම ඉතා ඇවසි බව මෙම චිත්‍ර පටිය කියා දෙයි. එලෙස සංගත ප්‍රවාදයක් තිබුනි නම් මෙම කතාව චිත්‍රපටියක් ලෙස විඳීමට ඉඩ තිබුනි.

Sunday, August 10, 2008

පිංකම

තිබුනද රිසි කමක් කීමට කවිබැඳ
නෑ මට දස්කමක් ලියුමට පැදිපද
සී පද කල් දැමෙයි නොව කියමින්අද
වේ විද මා සමත් කීමට හදබැඳ

නෑකිසිවිට
වීපසෙකට
සිහිකොට
මාඅසුපිට

හෙළ හෙළියෙඇත්තන්
දුන් සැවොමඔවදන්
මුලින් පදබැඳපන්
එළි සමයනොසිතන්

ලිව්වා මුල්පද අට
යැව්වා හෙළහෙළියට
නින්දා නැතඅසනට
සිතුවා තවලියුමට

ඉන්නෙ මා මේදුරු රට
සිංහළය නැතඇසුරට
නැංවු මාගේබස් පෙම
හෙළියටයි හෙළපිංකම

මා කවියෙකු නොවුවත්, වීමට නොසිතුවත්, කවි පෙළක් ලියූ වගයි. :-)

යතුරු ලියනය සදහා අනුරාධ ගේ හෙළ පැදි හැඩසවනය යොදා ගතිමි.

Saturday, August 9, 2008

ඔලිම්පික් 2008 - II

චීනයට 2008 වසරේ අංක 8 එතරම් වාසනාවක් ගෙන දුන්නේ නැත. ජනවාරි 25 (01 +2+5=8) ඇති වූ හිම කුනාටුව අඩ සියවසක් තුල ඇතිවූ දරුණුතම හිම කුනාටුවයි. මාර්තු 14(03+1+4=8) ඇතිවූ ටිබෙට් අරගල අවුරුදු 49 කට පසු ඇතිවූ දරුණුතම අරගලය වූ අතර මෙය මර්ධනය කළ ආකාරය නිසා චීනයට විශාල ලෙස ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු විය. ඔලිම්පික් ගිනි සිළුවට ලොව පුරාම විරෝධතා එල්ල වූයේ මෙනිසාය. මැයි 12(05+1+2=8) ඇතිවූ දරුණු භූ කම්පාව නිසා 70 000 ක් පමණ මිය ගියහ. මෙය වසර 30 ක් තුල ඇතිවූ දරුණුතම භූ කම්පාවයි.

ඒ කෙසේ වුවත් චීන වැසියෝ අංක 8 ඉතා වාසනාවන්ත අංකයක් ලෙස සලකති. බීජිං නුවර පමණක් යුවල 16 000 ට වැඩි සංඛ්‍යාවක් 2008-08-08 වෙනි දිනවිවාහ වී ඇත. චීනය ඔලිම්පික් උළෙල ඇරඹුමට යොදාගත්තේ අංක 8 යි. එනම් 08-08-08 චීනයේ බිජිං නුවරදී ප.ව. 08:08 ට ඔලිම්පික් උළෙල නිළ වශයෙන් ඇරඹින. මා 1988 සිට සෑම සමාරම්භක උළෙලක්ම නරඹා(තෙල දසුනෙන්) ඇති නමුත් මෙතරම් අලංකාර උළෙලක් දැක නොමැත. චීනුන් 16 000 ක් දස්කම් පෙන්වූ මෙම උළෙල ඔවුන්ගේ පිරිස් බලය මනාව පැහැදිළි කෙරින.

වෙසෙසින්ම ඇමෙරිකානු මාධ්‍ය පවා උත්සවය වැණීමේ නිරතව සිටියහ. නමුත් ඔවුහු ඉන් පසු මෙම ක්‍රීඩාංගනය සැදූ කම්කරුවන් පසු පස ගියහ. ඔවුන් විදින දුක් පිඩා, බීජිං නුවර ඉදි කිරීම් අත් හිටවූ පසු ඔවුන්ට රැකියා නැතිවූ අයුරු ද පෙන්නනට විය. ලස්සනට ඇති නගරය පෙන්වන අතරම අඳුරු පටු මං මාවත් වලත් කැමෙරාව ගෙන යාමට ඔවුහු අමතක නොකළහ. බොහෝමයක් දියුණු රට වල මෙවැනි අඳුරු තැන් ගැන වැඩ සටහන් තැනීමට හැකි බව මගේ අදහසයි. නමුත් ඔවුහු එය නොකරති. එවැනි අවස්ථා වල ස්වයං වාරණයක් පනවා ගනිති.

ඇමෙරිකානු ක්‍රීඩකයන් හතර දෙනෙක් චීනයට එන විට මුව ආවරණ පැළඳ පැමිණියහ. පසුව ඔවුහු චීනයෙන් ඒ ගැන සමාව ඉල්ලූහ. ඒ බටහිර මාධ්‍ය චීනය ගැන මවා තීබූ රූපය නිසයි. බ්බිසී සේවය පවා දවසකට වරක් බීජිං අහසේ අපවිත්‍රතාව මැන වගු ගත කරයි. නමුත් මෙම මැනුම් වලට යොදා ගන්නා උපකරණ නිවැරදි නොවන බවත් අහසේ අපහැදිලි බවට හේතුව ආර්ද්‍රතාව වැඩි වීම බව ඇමෙරිකානු පුවසුරු වරියක් (මහාචාර්යවරියක්) පැවසුවාය.

ඇමෙරිකාව තවත් අපූරු වැඩක් කළේය. ඒ ක්‍රීඩක පෙළ පාලියේදී ඇමෙරිකානු කොඩිය ගෙන යාමට එරටට සරණාගතයෙක් ලෙස පැමිණ සිටින මිටර 1500 ක්‍රීඩක Lopez Lomong ට ඉඩ සලසා දීමයි. ඔහු ඇමෙරිකානු ඔලිම්පික් තේරීම් තරග වලදී ලබා ගත්තේ 3 වෙනි තැනයි. පසුගිය ඔලිම්පික් උළෙලේ රන් පදක්කම් 6 ක් දිනා දුන් මයිකල් පෙල්ප්ස් වැනි ක්‍රීඩකයන් සිටියදී ඔහුව තෝරාගත්තේ ඇයි. ඔහු සූඩාන ජාතිකයෙකි. සූඩාන යුද්ධයෙන් සරණාගත වූවෙකි. ඩාෆූර් අර්බුදයේදී චීනය සූඩාන රජයට ආධාර කරන බවට චෝදනා නැගෙයි. මෙනිසා බටහිර ජාතීන්ට එයට අත දිගහැර මැදිහත් විය නොහැක. එයට චීනයට රිදවීමට මෙය කළා යැයි මට සිතේ.

Friday, August 8, 2008

ඔලිම්පික් 2008

වසර හතරකට වරක් පැවැත්වෙන ලොව විශාලතම ක්‍රිඩා උළෙල වන ඔලිම්පික් උළෙල අද එනම් 08-08-08 ප.ව. 08:08:08 ට, චීනයේ බීජිං නුවර අති උත්කර්ශවත් ලෙස ඇරඹේ. මෙම ක්‍රීඩා උළෙල ආසියාවට ලඟාවන තෙවන අවස්ථාවයි. (මීට පෙර ජපානයේ(1964) හා දකුණු කොරියාවේ (1988) පැවැත්වී ඇත) චීනය ලොව නැගී එන බලවතා ලෙස තමන්ගේ ශක්තිය පෙන්වීමට මෙම උත්සවය යොදා ගන්නවාට සැකයක් නොමැත.

ඔලිම්පික් යනු මාධ්‍ය වලට ඉතාම කාර්ය බහුල කාල වකවානුවකි. බටහිර මාධ්‍ය කල් තියාම වැඩ ඇල්ලුවෝය. ඒ ඔලිම්පික් ගිනිසිළුව හා නිදහස් ටිබෙට් අරගලය සැබඳිවයි. එකි නොකි සියළු දේ බටහිර මාධ්‍ය රස කරමින් අනුභව කළෝය. රාජ්‍ය නොවන සංවිධාන චීනය මානව අයිතිවාසිකම් කඩ කරන රටක් වශයෙන් හන්වඩු ගැසූහ. ඩාෆූර් වල ගැටළුව සැබඳිවද චීනයට චෝදනා කළහ. ඔලිම්පික් උළෙල වර්ජනය කරන ලෙස පැවසූහ. ඉන් පසු ටිබෙට් අරගල බලය යොදා මර්ධනය කළ බව කීහ. බීජිං වල වාතය සෞඛ්‍යට අහිතකර බව පැවසූහ. සමහර ක්‍රිඩකයෝ තරගාවලියට සහභාගී වීමෙන් ඉවත් වූහ. කිසිවෙක් වර්ජනයට සැරසුනේ නැත. ඇමෙරිකාවට සළු ඇඳගෙන එසේ කිරීමට නොහැකිය. ඒ මන්ද යත් 1980 දී ඇමෙරිකාව ඇතුළු රටවල් මොස්කොව් ඔලිම්පික්ස් උළෙල වර්ජනය කිරීමෙන් පසු 1984 දී එකට එක කිරීමක් ලෙස සෝවියට් සමූහාණ්ඩුව හා නැගෙනහිර ජර්මනිය ඇතුළු රටවල් ලොස් ඇන්ජලීස් නුවර තිබූ උළෙල වර්ජනය කළ විට ඇමෙරිකාවේ පිහිටට පැමිණියේ චීනයයි. එය චීනයේ පළමු ඔලිම්පික්ස් උළෙල වූ අතර රන් පදක්කම් 15 ක්ම දිනා ගැනීමට හැකි විය. ඇමෙරිකාව වර්ජනය නොකර අන් රටවල් වර්ජනය කරන්නේ නැත. එනිසා වර්ජන බිය පහ විය.

සීතල යුද සමයේදී ඇමෙරිකාව හා සෝවියට් ජනරජය අතර වැඩි පදක්කම් වලට සටනක් විය. නමුත් සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමෙන් පසු ඇමෙරිකාව එහි රජ විය. මේ අතර චීනය ලෝක බලවතෙක් ලෙස නැගී එන්නට විය. එනිසා ඔවුන්ද ඔලිම්පික් උළෙලේ වැඩි පදක්කම් පොරයට එක් විය. චීනයට පසු ගිය අවස්ථා තුනෙහි පිළිවෙලින් රන් පදකකම් 16, 28 හා 32 ක් දිනා ගැනීමට හැකිවිය. ඇමෙරිකාව දිනා ගත්තේ පිළිවෙලින් පදක්කම් 44, 36 හා 36 කි. චීනය පසුගිය ඔලිම්පික් උළෙලේ දී ඇමෙරිකාවට වඩා රන් පදක්කම් 4 අඩුවෙන් ලබා දෙවෙනි ස්ථානයට පත් විය. මෙවර චීනයට පළමු තැන ගත හැකි වෙද?

මේ අතර මාධ්‍ය වල නොයෙකුත් නව අංඟ එක් වන්නට විය. චීන චාරිත්‍ර පිළිබඳ විශේෂඥන් තෙල දසුනේ මතු වන්නට විය. චීනයේදී කෑම කන විදිහ, බඩු කේවල් කරන ආකාරය, ආචාර කරන අයුරු කියා දෙන වෙසෙසු (විශෙෂඥ) චීනුන් පන්ති පවත්වන අයුරු දැක ගත හැකි විය. මෙහෙදී කියූ එක් දෙයක් වූයේ සෑම චීන ජාතිකයෙක් ලඟම පාහේ ව්‍යාපාරික කාඩ් පත් (business card) ඇති බවයි. සුහද බව හඟවන දෙයක් ලෙස කාඩ්පත් හුවමාරු කරගන්නා නිසා කාඩ් රැගෙන යන ලෙස පැවසිනි. කාඩ් දිය යුත්තේ අත් දෙකෙන්ම අල්වා අකුරු එම පුද්ගලයා දෙසට සිටින ලෙසටලු. තවද චීන ඉතිහාසඥයෝ, මහා ප්‍රාකර වෙසෙසුවෝ තෙල දසුන බදු අරගෙන සිටිති. මේ අතර මාධ්‍ය වේදීන් විබ(web) වාරණය කර ඇතැයි මහා කාලගෝට්ටියක් නගන්නට විය. මෙයට මැදිහත් වූ චීන බලධාරිහු ඔලිම්පික් ගම්මානය තුල පමණක් වාරණය ඉවත් කළහ. නමුත් ටිබෙටය සම්බන්ධ විබ පිටු තවම වාරණයට යටත්ය. චීනය තුල විරෝදතා පැවැත්වීමට විසෙස්(ව්ශේෂ) තැන් තුනක් වෙන් කර ඇත. විරෝධතා පවත්වන්නන් කලින් දනුම් දී අවසර ගත යුතුය. විදෙස් වැසියන් රටට ඇතුළු වන විට අවසර ලබා ගැනීමට ඉල්ලුම් කළ යුතුය. තවම සුළු විරෝධතා හැරෙන්නට තත්වය සාමකාමීය.

මෙවර මාගේ සිත් ගත් තරග කීහිපයකි. මීටර් සියය පිරිමි තරගය මා සිතන ලෙස ඇති උනුසුම්ම තරගය වේ. වත්මන් ලෝක වාර්තාව හිමි උසේන් බොල්ට් (තත්. 9.72), පෙර ලෝක වාර්තාව හිමිව තිබු අසෆා පවෙල් (තත්. 9.74) හා ලොව මෙතෙක් වාර්තාකර ඇති අඩුම කාලය (තත්. 9.68 ) හිමි ටයිසන් ගේ අතර තරගය ගැන කතා කිම. එසේම පිරිමි ටෙනිස් කේවල තරගය සහ මයිකල් ෆෙලෙප්ස් ගේ රන් පදක්කම් 8 හි ඉලක්කයද මාගේ ප්‍රියතම ඉසව්‍ වේ.

කුමන බාධා පැමිණියත් මෙම උළෙල අති උත්කර්ශවත් ලෙස පැවත් වෙනු ඇත. චීනයේ පැවැත්වෙන මේ 2008 ඔලිම්පික් උළෙල මුළු ආසියාවටම ආඩම්බරයක් වේ. නමුත් මාගේ සිතේ එක් පැනයක් ඇත. එනම් 4008 ඔලිම්පික් උළෙලවත් ලංකාවේ පැවෙත්වීමට හැකි වේද කියාය.

Thursday, July 24, 2008

හෙට සිංහළ

සිංහ"ළ" යුනිකේත භාවිතයත් සමඟ සිංහළෙන් ලියන්නන් ගණන ඉහල යමින් ඇත. එහි ප්‍රතිඵලය වූයේ බස පිළිබඳ සංවාද බස පිළිබඳ වියතුන් නොවන අප අතරද ඇති වීමයි. මෙම සටහටහන තැබීමට සිත්වූයේ සිංහළ බ්ලොග්කරුවන්ගේ එකතුවේ සිදු වූ සංවාදයක් නිසාය. එහිදී මතුවු අදහසක් නම් මුර්ධජ අකුරු ඉවත් කීරීම සිංහළයේ අනාගත පැවැත්මට හිතකර වේය යන්නය. මෙලෙසින් සිංහළ නවීකරණය කිරීම සඳහා වූ අදහස අඩ සියවසකට පමණ පෙර ඉදිරිපත් වූ අදහසක් බව මා හට දැනගැනීමට ලැබිනි. මෙලෙස සිංහළය රැක ගැනීමට ඉදිරපත් වී ඇති ප්‍රධානම කරුණු දෙක මෙම වියණු සටහණින් උපුටා දක්වමි.

-------------------
(1) මූර්ධජ අකුරු, බැඳි අකුරු ඉවත් කර පිලි සහ හල් අකුරු සමරූප කල යුතුයි.

(2) වියරනය ජීවමාන බසේ (ඒ කියන්නේ කතා කරන භාශාවේ) වියරනය විය යුතුයි. අලුත් වියරන නීති රීති හදනවා නම් ඒවාත් උපුටාගත යුත්තේ කතා කරන බසේ රීතිය තුලින්.
--------------------


මෙවිට සිංහළය රැකෙන්නේ කෙසේද? මෙවිට සිංහළ බසෙහි ඇති සංකීරණතා ඉවත් වී එය භාවිතා කිරීමට පහසු වේය යන්නය. මෙම අදහස 1960 ගණන් වල සිට ඉදිරිපත් වෙමින් තිබෙන අදහසක් බව පැහැදිලිය. මට අවබෝධ වන ලෙසට මෙහිලා මූලිකත්වය ගත්තේ යුරෝපීය සරසවි වලින් නූතන වාග් විද්‍යාව හදාරා පැමිණි අය සහ ඔවුන්ගේ ගෝල බාලයන්ය. මෙම පියවර මඟින් සංකීරණතා ඉවත්වේය යන්නට මමද එකඟ වෙමි. නුමුත් සංකීරණතා යන්න සාපේක්‍ෂ මිණුමක් පමණි. සංකීරණතා ඉවත් කිරීම (මෙය ඉවත් වීමක් නොවේ ඉවත් කිරීමකි.) කොතනින් අවසන් වේද?

බසක් සැමදා එක ලෙස නොපවතින බව සැබෑව. සිංහළවල ආකාර දෙකක් ඇත. එනමි ලියන බස හා කතා කරන බස යනුවෙනුයි. නමුත් නුදුරු අනාගතයේදීම ලියන බසෙහි ආකාර දෙකක් ඇතිවීම වැලකිය හැකි නොවේ. එනමි දැනට පවතින ලියන බස හා කතා කරන අයුරින් ලියන බස. මෙයට ප්‍රධානම හේතුව වන්නේ කලින් (වියරණ අනුගමනය කළ) සීමිත පිරිසක්‍ යෙදුන සිංහළෙන් ලිවීම , යුනිකේත නිසා විශාල පිරිසක් අතර පැතිර යාමය. එලෙස බස වෙනස් වීම වැලකිය හැකි නොවේ. විලිපියක්(email) කතාකරන බසින් ලිවීමෙන් වඩා සමීප බවක් දැනේ. නමුත් තර්කානුකූලව තේරුම් ගත යුතු දෙයක් එලෙස ලිවීමෙන් තවත් අවුලට පත්විය හැක. එනිසා මේ ආකාර දෙකම ඉදිරියේදී තුරුදැලේදී අපට හමු වෙනු ඇති. නමුත් මෙලෙස සිංහළ බස රැක ගැනීමට යැයි කියමින් මුරධජ ඉවත් කිරීම, කතා කරනබසේ වියරණ පිළිගත් වියරණ බවට පත් කිරීම වැනි බලෙන් කරන වෙනස්කම් වලට පිරිසක් විරුද්ධ වනනේ මන්ද යැයි විමසා බැලීම වටී.

ලෝකය සත්‍ය වූ එකම දෙයක් ඇත. එකම නියමයක් ඇත. එය ඇත්තේ බටහිර දැනුමෙහිය. එනිසා සෑම දෙයක්ම එක් දෙයකට ඌනනය කිරීම (unifiction) ඔවුන්ගේ උත්සාහයයි.

1. අද ලෝකයේ විද්‍යාවන් ඇත්තේ එකක් පමණි. එයට හේතුව එය නිවැරදි වීමද? (භෞතික විද්‍යාවේ එන හේතු දැක්වීම් කතන්දර පමණක් බව එය යන්තම් හෝ උගත් අයට වැටහෙනවා ඇත) එය දියණු වූයේ අනෙකුත් දැනුම් පද්දතීන්ගෙන් දැනුම උරාගෙන එය තමන්ගේ දැනුමක් බවට පත් කරගැනීමෙනි. ඉන්පසු එම ජාතීන් තම බලය හා සිප්ලකුව(තාක්‍ෂණය) යොදා එම දැනුම අන් ජාතීන් මත බලෙනි පැටවීමෙනි.

2. වෛද්‍ය විද්‍යාව කී විට සිහියට නැගෙන්නේ බටහිර වෙදකම මිස අන්කිසිවක් නොවේ. විද්‍යාවේම කොටසක් වුවත් වෙනම ඉදිරිපත් කළේ තවම ඉතිරි වූ වෛද්‍ය ක්‍රම දක්නට ඇතිනිසයි. නමුත් මෙම සියළු දැනුම් ඔවුන්ගේ ක්‍රමය තුල ක්‍රියාත්මක කිරීමත් සමඟ අනෙක් ක්‍රම නැතිවී යනු ඇත.

3. ලෝකයේ දැනට ඇති ප්‍රධානම ආගමික හා සංස්කෘතික ගැටීම ක්‍රිස්තියානි හා ඉස්ලාම් ගැටීමයි. මෙයට මා දකින ලෙස හේතුවනම් ආක්‍රමණකාරී(වර්තමානයේ සංස්කෘතික ලෙස.) ක්‍රිස්තියානි ආගම දැඩිමතධාරී ඉස්ලාම් ආගම සමඟ ගැටීමයි. මෙය ඔවුන් අතින්ම හොඳින් විවරණය වි ඇති Samual Huntington ගේ Clash of Civilizations යන ලිපිය බලන්න.

බස යනු සංස්කෘතියක කොටසකි. යම් සංස්කෘතියක් විනාශ කිරීමට ඇති හොඳම මගකි එම රැසෙහි බස මැරීම. මෙයට ඔවුන් හොඳින්ම යොදා ගත්තේ එංගලන්තයේ හා ඇමෙරිකාවේ "SINHALA" ඉගෙනුමට ගිය පඬුවෝය. මේ තත්ත්වය මැනැවින් දුටුවකු වශයෙන් හැඳින්විය හැකි රැ. තෙන්නකෝනුන් සිය සිදත් සඟාවේ 'සුලමුල' යටතේ සෝපහාසයෙන් සඳහන් කැර ඇති පහත සඳහන් කැඩියෙන් කියන්නේ කිමෙක් දැ'යි බැලුව මැනැවි.

"මේ ඉංගිරිසි පඬුවන් ගෙන් සිය බසට පැමිණෙන විපත ආදි සකු මග ද පඬුවන් ගෙන් එයට පත් පිරිපතට වැඩියෙන් දරුණුයි. දැන් මූ තුමු සිය බසින් ඇති පතට පොතට හා සිය බසටත් කොට කලිසම් අඳවන්නට පටන්ගෙන සිටිති."
(උපුටා ගැනීම 2007-10-14, සිළුමිණ "වාග්විද්‍යාඥයා වියරණ ඇදුරා ගේ කාර්යයට අත ගැසීම" ලිපියෙනි.)

එසේ උගෙන පැමිණි "නූතන වාග් විද්‍යාඥයන්ගේ" හා ඔවුන්ගෙන් පැචතෙන්නන් පැතිරවූ අදහස වූයේ "සංවරව ලිවීමට ව්‍යාකරණයක් අවශ්‍ය ය යන්න බොරුවක්, අදහස වැටැහේ නම් කෙසේ ලියුවත් වරද කි ම, කතා කරන සැටියෙන් ම ලිවීමේ වරද කිමෙක් ද, ප්‍රකාශන විධිවල හරි වැරැදි කියා යමක් නැත. බසට තිබිය හැක්කේ එක ම සම්මත ව්‍යාකරණ විධියක් පමණක් නොවේ" යන්නය.

මා හට තේරුම්යන ආකාරයට මෙවැනි අදහස් පැතීරීමට ප්‍රධානම හේතුව වූයේ බටහිර සරසවි වලදී උගත් වාග් විද්‍යාව පිළිබඳ මූලධර්ම ගෙඩි පිටින් සිංහළ බසට ආරෝපනය කිරීමයි. තවද වාග් විද්‍යාඥයින් තමන්ගේ රාජකාරිය වන භාෂා විශ්ලේෂණය පසෙකින් තබා බස වෙනස් කීරීමට යාම අනෙක් හේතුවයි. (ඉහත සිළුමිණ ලිපිය කියවන්න.)

වාග් විද්‍යාව යනු කිමක්දැයි සෙවීමට මම තුරුදැල්සැරියක් ගියෙමි. මෙම ක්‍ෂේත්‍රයේ මා හට ඇති දැනුම අඩු වුවත් සිදුව ඇති දේ වඩාත් පැහැදිළි විය. විකීපීඩියාවට අනුව වාග් විද්‍යාවේ අරමුණ ( විකියේ මෙසේ පැහදිලි කර ඇත) බස පිළිබඳ හැදැරීමයි. නමුත් ලංකාවේ වාග් විද්‍යාඥයෝ මේවා උගෙනවුත් සිංහළට ගෙඩිපිටින් යෙදූහ. ඉන් නොනැවතුන ඔවුහු සිංහළ බස වෙනස් කීරීමටද පටන් ගත්හ.

බටහිර භෞතික විද්‍යාවේ එන ඌනනය කිරීමේ න්‍යායය බටහිර සමාජ විද්‍යාඥයින් යොදාගත් ආකරයයි මේ. නූතන වාග් විද්‍යාවේ ප්‍රධානතම පඩුවෙක ලෙස සැලකෙන යුදෙව් ජාතික Noam Chomsky ගේ න්‍යායන්ගේ පදනම මෙයයි.

Linguist Noam Chomsky made the argument that the human brain contains a limited set of rules for organizing language. In turn, there is an assumption that all languages have a common structural basis. This set of rules is known as universal grammar.


මෙම සමාජ විද්‍යාඥයින් බටහිර භෞතික විද්‍යාඥයින් අනුගමනය කළද ඔවුන්ගේ න්‍යායන් වලට භෞතික විද්‍යාවේ තරම් පදනමක් නොමැත. නිව්ටන් පඬුවාගේ න්‍යායන් අයින්ස්ටයින් පඬුවා(මෙයින අයින්ස්ටයින්ගේ න්‍යායය නිවැරදියැයි අදහස් නොකෙරෙ.) වැරදියැයි කීවද අපට නිවුටන්ගේ න්‍යායයන් උපයෝගී කරගෙන ගුවනින් බෝම්බයක් නිවරදි ඉලක්කයට දැමිය හැක (මෙය උදාහරණයක් පමණි.). නුමුත් අපගේ පඬුවෝ මෙම මතවාද ගෙඩිපිටින් සිංහළට යොදා ගැනීමට පටන් ගත්හ.

මට වැටහෙන ලෙස Linguistic_minimalism හා එවැනිවූ තවත් ක්‍රම වලින් සන්නද්ධ වූ අපගේ පඬුවෝ මුරධජ ඉවත් කිරීම, ව්‍යවහාරයෙන් වියරණ නීති සැදීම පටන් ගත්හ. ලංකාවේ පළමු වාග් විද්‍යාඥයා වන සුගතපාල ද සිල්වා පඩුවානන්ගේ අදහසක් 2007-06-17, සිළුමිණ "බස අවුල් වූ දාට සියල්ල අවසන් ය‍" ලිපියෙන් උපුටා දක්වමි.

" 'මම යනවා' කියනවා වෙනුවට 'මම යමියි' කියන ලෙස උගන්වන්නට යොදන කාලය ඊට වඩා ප්‍රයෝජනවත් දෙයකට යොදාගත හැකියි."

මොවුන්ගේ ප්‍රධාන වැකියක් වනනෙ සිදත් සඟරාවේ එන "වහරනු සෙරෙන් සපයා" එනම ව්‍යවහාරය ඇසුරෙන් සපයන්න. එනම් වත්මන් ව්‍යවහාරයේ එන මෙම වදන් (අසභ්‍ය යැයි සිතිය හැකි දේ තිබිය හැකියි) හා මෙවැනි කියුම් වැනි දේදැයි මා හට පැනයක් ඇත. නුමුත් මොවුහු මෙහි පළමු පදය සඟවති. සම්පූරණ වැකියනම් "අනු රූ සේ පියෝනන්- වහරනු සෙරෙන සපයා" එනම් "උගතුන්ගේ යෙදීම් අනුව, ව්‍යවහාරය ඇසුරෙන් සපයන්න." යන්නයි.

නමුත් මෙම පඬුවන් (පඬියන් යන්නද සමාන පදයකි.) කරන එක් හොඳ දෙයක් ඇත. එනම් මෙවැනි දේ බලෙන් පටවන්නට යාමයි. මෙවිට සිදුවන්නේ ප්‍රතිරෝධයක් ඇති වී (මෙය නිව්ටන්ට අනුව සමාන හා ප්‍රතිවිරුද්ධ නොව, අගයෙන් වැඩි ප්‍රතිවිරුද්ධ බලයකි) ස්වභාවිකව සිදුවන වෙනස් වීමත් ප්‍රමාද වීමයි. මට කීමට ඇත්තේ මෙපමණයි "හෙළයිනි හෙළ බස රැක ගනිව්" යන්නයි.

ප. ලි. වියරණ හෝ වචන වල දොසක් ඇත්නම් පවසනු මැන.