Monday, July 21, 2008

වියරණ දොස් පෙන්වනු මැන.

මම දින කීපයට පෙර හෙළ බස නැවත ඉගනුම ඇරඹුවෙමි. මාගේ වියුණු සටහන් වියරණ දොස් රහිතව ලිවීමයි මාගේ වෑයම. එනිසා මාගේ වියණු සටහන්වල වියරණ දොස් තිබේනම් පෙන්වා දුන මැනවි. ඔබට පිං.

වියුණු සටහන නැවත ලිවීමට ඇරඹූ දිනවල මැයක් නොමැතිව සැරිසරන විට මගේ සිත, ඇසුණි කන්කලු ගීතයක්. සිතුවෙමි තබන්නට සටහනක් ඒ ගැන.

කනට මී පැණි වක්කරන්නාක් බඳු වූ ගීතය සිත්විය ඇසීමට නැවත වරක්. නමුත් මේ වර දුටුවෙමි වියරණ දොසක්.


ගහක මල් පිපිලා - පිපෙන්නේ ඇයි ද නොදන්නෙමී
හිතක මල් පිපිලා - පිපෙන්නේ ඇයි ද නොදන්නෙමී
නුඹට සිත බැඳුනේ කිමැයි - මා තවම නොදන්නෙමී
නුඹට සිත බැඳි කාරනේ - මම තවම සොයන්නෙමී

තාලය රැකීමට එය කළා විය හැකියි. නමුත් "මම යනවා" වැනි කතා කරන බසින් ලීවිමටත් වඩා එය වැරදි නොවේද?


ප.ලි. : කනට මී පැණි වක් කල විට කනට කූඹින් නොපැමිණේද? :-)

ගැට පදය: මැය = මාතෘකාව

Sunday, July 13, 2008

දෙවියන්, කර්මය හා නිවන

සර්ව බලධාරී දෙවියන් සියළු දේ මැවූ බව සමහර ආගම් වල විශ්වාසයයි. මෙම විශ්වාසය මා හට පිළිගත නොහැක. නමුත් එම ආගමික විශ්වාසය වැරදි බව කා හට හෝ කිව නොහැක. එසේ වන්නේ එම කරුණු අපගේ පන්ච ඉන්ද්‍රියන්ගෙන්(මනසත් සමඟ හයකි) ඔබ්බෙහි නිසාය. නමුත් එය විශ්වාස කිරීමට වඩා අවිශ්වාස කිරීමට කරුණු මා හට ඇත. මගේ අදහස වන්නේ දෙවියන් යනු අපට විස්තර කිරීමට නොහැකි දෙයක් විස්තර කිරීමට යොදා ගන්නා සංකල්පයක් බවයි.

දේව සංකල්පය මෙන් අපට නොදැනෙන දේ විස්තර කිරීමට යොදා ගන්නා සංකල්ප අනෙකුත් ආගම් වලද දක්නට ඇත. කර්මය ඉන්දියානු ආගම්වල යම් යම් සිදුවීම් විස්තර කිරීමට යොදා ගනිති. හින්දු, බෞද්ධ හා ජෛන යන ආගම් වල කර්මය විවිධ ආකාර වලට විස්තර කෙරෙති. මා හට තේරුම් යන ලෙස කර්මයද අපට විස්තර කිරීමට අපහසු සිදුවීම් විස්තර කිරීමට යොදා ගන්නා සංකල්පයකි. මෙයද දෙවියන් මෙන් අපගේ සංවේදනයට හසු නොවන සංකල්පයක් වේ. නැතිබව කිව නොහැක ඇතිබවක්ද නොපෙනේ. බුදු දහමේ කර්මය ප්‍රතික්‍ෂේප නොකරන නමුදු එයට ඉහළ තැනක් දී නොමැත.

මෙම සංකල්ප වලට පක්‍ෂ පිරිස නගන තර්කයක් නම් මේවා සත්‍ය හෝ අසත්‍ය වුවත් මෙමගින් මිනිසුන් වැරදි දේ කිරීමට නොපෙළඹෙන බවය. නමුත් වැරදි දේ කරන්නෝ දෙවියන් හෝ කර්මය ගැන හෝ නොසලකති. ලෝකයේ ආගම වෙනුවෙන් කොපමන මිනිසුන් සංඛ්‍යාවක් මිය යනවාද. එසේම හොඳ දෙයක් කිරීමට දෙවියන් හෝ කර්ම ඵලය අවශ්‍ය නොවේ.

නිවනද බෞද්ධ අප විශ්වාස කරන තවත් සංකල්පයකි. අපගේ පරම පැතුම නිවන් දැකීමයි. නිවන ඉහත සංකල්ප දෙකෙන් වෙනස් වේද නොවේද. නිවන් ලඟා කරගත් විට අපට නැවත ඉපදීමක් නොමැත. මතු පිටින් බැලූ විට නිවනද ඉහත සංකල්ප වලින් වෙනස් නොවේ.

නමුත් මා හට අනෙකුත් සංකල්ප වලට වඩා නිවන වෙනස් බව සිතේ. බුදු දහමේ දුක හා දුකට හේතුව පිළිබඳ කර ඇති විස්තරය සත්‍ය ලෙස ගත හැක. එබැවින් දුක නැති කිරීමේ මාර්ගය හා දුක නැති කිරීමද සත්‍ය විය හැක. එනම් සියලු දුක් වලින් තොර නැවත ඉපදීමක් නැති නිර්වානයද සත්‍ය විය හැක. (අසත්‍යද විය හැක. නිවන් අත්දුටුවන් එය දන්නවා ඇත.) දුකට අමතරව බුදු දහමේ අනිත්‍ය හා අනාත්ම බව පිළිබඳව කර ඇති විස්තරද ඉතා විශිෂ්ඨය.

නමුත් මේ ලෝකයේ ඇති සියලු දේ අපගේ මනස විසින් ඇති කරන ලද මායාවක් බව සත්‍යයකි. කාලය, අවාකාශය යන මායාවල් තුලින් අපගේ ලෝකය අප මවාගෙන ඇත. මා මෙම සටහනේදී උත්සාහ කලේ සත්‍යය කුමක්ද අසත්‍යය කුමක්ද යන්න තේරුම් ගැනීමටයි. නමුත් සත්‍ය හා අසත්‍ය යන සංකල්පද අපගේ මනස විසින් පන්ච ඉන්ද්‍රියන්ගේ උපකාරයෙන් නිර්මාණය කළ දේ නොවේද?

Saturday, July 12, 2008

තැප්‍රොබේන්

තැප්‍රොබේන් ලිනකස් ගැන තුරුදැලේ සොයනා විට මා හට තැප්‍රොබේන් ලිනක්ස් වලට අමතරව විවිධ තොරතුරු හමුවිය. තැප්‍රොබේන් යනු අතීතයේදී ශ්‍රී ලංකාව හැදින්වීම සඳහා යොදාගත් නාමයක් බව සියළු දෙනා දන්නා කරුණකි. නමුත් මෙම නාමයට අතීතයේදී තවත් රටවල් සඳහා භාවිතා වී ඇත. මැඩගස්කර් සිට සුමාත්‍රා දක්වා දූපත් හැදින්වීමට විවධ අවස්ථාවන්හිදී විවිධ පුද්ගලයන් විසින් තැප්‍රොබේන් යන නාමය යොදා ගැනිනි. නමුත් බොහෝ දෙනා පිළිගන්නා මතය වන්නේ තැප්‍රොබේන් යනු ලංකාව හැදින්වීමට යොදාගත් නාමයක් බවයි.

ශ්‍රී ලංකාව තම්බපන්නි යනුවෙන් ඉන්දීයානුවන් අතර මුලින්ම හැදින්විනි. මෙයට හේතු වූයේ විජය ලංකාවට ගොඩබැසූ ස්ථානයෙ වැලිලේ පාට බව කියැවේ. මේ අතර ග්‍රීක හා රෝම වැසියන් ක්‍රි.පූ. කාලයේ සිට තැප්‍රොබේන් යන දූපතක් ගැන දැන සිට ඇත. මුලින්ම තැප්‍රොබේන් ගැන සඳහන් කරන්නේ Onesicritus යන ග්‍රීක ඉතිහාසඥයාය. ඔහු මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා සමඟ ආසියානු මෙහෙයුමට සහභාගී වුවෙක් ලෙසට සැලකේ. ග්‍රීක හා රෝම වැසියන් අතර තැප්‍රොබේන් යනු වෙනත් ලෝකයාක්ද නැතහොත් විශාල දිවයිනක්ද යනුවෙන් මතභෙදයක් තිබී ඇත.

ඉන්පසු ක්‍රි.ව. පළමු සියවසේදී Claudius Ptolemaeus (Ptolemy) නොහොත් ටොලමි විසින් ලෝකය සිතියම් ගත කරන ලදී. මෙහිදී ඔහු තැප්‍රොබේන් ඉන්දියාවට දකුණින් තැප්‍රොබේන් දක්වා ඇත. විශේෂ කාරණය වන්නේ නියම ප්‍රමාණයට වඩා හය ගුණයක් පමණ විශාලව ලංකාව දකිවා තිබීමයි. නමුත් ග්‍රීක හා රෝම රාජ්‍යයන්ගේ අභාවත් සමඟ මෙම දැනුම නැතිවී ගියේය. මේ අතර කාලයේ ලංකාව සෙයිලම් නමින් යුරෝපීයන් අතර ප්‍රචලිත විය. පහලොස්වන සියවසේදී පමණ ටොලමිගේ නැතිවූ සිතියම් නැවත හමුවී ඇත. එනිසා එකල ඇඳි සිතියම් වල ලංකාව සෙයිලම් නමිනුත් තැප්‍රොබේන් යන්න සුමාත්‍රා වලටත් යෙදී ඇත. තැප්‍රොබේන් වල විසිතර ලංකාවට වඩා සුමාත්‍රා වලට ගැලපෙන බව එකල සිටි පිරිස් සිතන්නට ඇත.

මෙම නිසා දහනමවන හා විසිවන සියවස්වල තැප්‍රොබේන් යනු ලංකාවද නැතිනම් සුමාත්‍රාද යන්න පිළිබඳ වාදයක් තිබී ඇත. නමුත් සාක්‍ෂි වැඩි වශයෙන් නැඹුරු වුයේ ලංකාව දෙසටය. තැප්‍රොබේන් වල අලි හා කුරුඳු ගැන විස්තර ලියවී තිබේ. අලි ඇතුන් දෙරටේම සිටියද ලංකාවේ අලි ඉන්දියාවේ හා යුරෝපයේ ප්‍රචලිත වී තිබී ඇත. තවද ලංකාවේ දියුණු ශිෂ්ඨාචාරයක් ඉතා අතිතයේ සිට පැවතිනි. ටොලමිගේ සිතියමේ දැක්වෙන නම් ලංකාව සමඟ හොඳින් ගැලපේ. තැප්‍රොබේන් පළමුව ලංකාව හැඳින්වීමට යෙදුනු අතර පසුව ක්‍රි.ව. පහලොස්වන සියවසේ පමණ වැරදීමකින් සුමාත්‍රා හැදින්වීමට යොදාගෙන ඇත.

අතිතයේ සිටම යුරෝපියන් තැප්‍රොබේන් පිළිබඳ ඉතා උනන්දුවක් දක්වා ඇති බව ඉතා පැහැදිලිය. මෙයට හේතුවූ කරුණු මොනවාද යන්න අප සොයා තිබේද?

Monday, June 30, 2008

කවුද ඉහල?



ලෝක සිතියම බලන විට මා හට යුරෝපය ඉහලින් හා සිතියමේ මැදින් ප්‍රමාණයට වඩා විශාලව ඇඳ ඇත්නේ ඇයි කියා සිතුනි. ලෝකයහි වෙනස් විදිහට දකින අය සිටින බව තරුදැල බැලූ මට පසක් විය. මෙහි ප්‍රමුඛ ලෙස පෙනෙන්නෙ යුරෝපයද?

Saturday, June 28, 2008

දේවවාදය හා අදේවවාදය

මෙම ලිපිය ලිවීමට මට සිත් වූයේ ස්වීඩන වැසියන්ගේ ආගමික ඇදහීම් ගැන සෙවීමෙන් පසුවය. ස්වීඩන් වැසින්ගේ පාරම්පරික ඇදහීම වූයේ Paganisam නම් ඇදහීමේ ක්‍රමයය. එහි ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස පරණ උප්සාලා(Gamla Uppsala) පල්ලිය පැවතිනි. පසුව කතෝලිකකරනය වී ඉන් පසුව ප්‍රොතෙස්තන්ත බවට පත් විය. අවුරුදු දෙකකට පෙර ස්වීඩනයේ 75% පමණ පල්ලියේ සාමාජිකයන් වු අතර නිතිපතා ආගමික වතාවත් වලට සහභාහී වූ පිරිස 2% ක් පමනක් විය. බොහෝ දෙනා පල්ලියේ සාමාජිකත්වයෙන් ඉවත් වෙමින් සිටිති. මෙයට පල්ලියට බදු ගෙවීමට සිදුවීමද හේතුවකි. පල්ලියෙන් ඉවත් වූ පසු ඔවුනට පල්ලියේ විවාහ වීමට අවස්ථාව නොලැබේ.

තවද බොහෝ දෙනා දෙවියන් විශ්වාස කිරීමෙන්ද වලකිති. මෙයට ප්‍රධාන හේතුව වන්නේ ස්වීඩනයේ පාසල් වල සියළුම ආගම් පිළිබඳව උගන්වනු ලැබීමයි. ඉන් පසු ඔවුන් තරුණ වියට පත් වූ විට තමන් කැමති ආගම තෝරා ගනිති. සියළුම දේනා පාහේ අදේවවාදීන් (atheists) බවට පත් වෙති. මෙය තරුණ (< අවු 45:-) )පිරිස අතර පවතිනක් යැයි මම සිතා සිටියෙමි. නමුත් මට හමුවූ වයසක කාන්තාවක් පැවසූ ආකාරයට බොහෝ දෙනාහට දෙවියන් පිළිබඳ විශ්වාසයක් නොමැත. ඇයට අනුව පල්ලි ආරක්‍ෂා කල යුත්තේ ඒවා අලංකාර හා පෞරාණික වටිනාකමකින් යුත් ගොඩනැගිලි නිසාය. දේවවාදීන් හා අදේවවාදීන් අතර වාදය අද බටහිර ප්‍රබල ලෙස දැකීමට ඇත. මෙම දෙපිරසම බටහිර විද්‍යාත්මක ලෙස තමන්ගේ මතය ප්‍රබල ලෙස ඉදිරි පත් කරති. දේවවාදීන් අතර කැපී පෙනෙන විද්‍යාඥයින් ඇත. මාගේ අදහස අනුව Stephen Hawking, Albert Einstein වැනි විද්‍යාඥයන් දේවවාදීන් වු අතර Richard Dawkins වැන්නවුන් දෙවියන් විශ්වාස නොකරති.

අදේවවාදීහු පරිණාමවාදය දෙවින්ගේ මැවීමට එරෙහි ප්‍රධාන අවියක් කර ගනිති. Richard Dawkins තමන්ගේ "The God Delusion" නැමති කෘතිය මගින් දෙවින්ගේ පැවැත්ම ගැන ප්‍රශ්න කරයි. එහි පෙර වදනෙහි ඔහු "තනි පුද්ගලයෙකු මුලාවක හෝ මායාවක සිටින විට එය උමතුවකි, නමුත් පිරිසක් ඉන්නා විට එය ආගමකි." යන පාඨය Robert Pirsig ගේ කෘතියකින් උපුටා දක්වයි.


දේවවාදීහු දෙවියන්ගේ පැවත්ම සනාත කිරීම සඳහා සෘජු හා වක්‍ර ක්‍රම උපයෝගී කර ගනිති. මහා පිපුරුම් න්‍යායය මේ සඳහා ප්‍රධාන ලෙස උපයෝගී කරගනු ලබති. එනම් විශ්වයට ආරම්භයක් ඇතිනම් එය නිර්මාණය කරන ලද්දක් විය යුතුය බවයි. එනම් සර්ව බලධාරී දෙවි කෙනෙකුන් සිටිය යුතුය. අයින්ස්ටයින් හා හෝකින්ස් ඇතුලු විද්‍යාඥයෝ විශ්වයේ සියලු දේ විස්තර කල හැකි න්‍යායයක් සෙවිමට උත්සාහ කරමින් සිටිති. එය කිරීමට හැකි වුව හොත් ඔවුනට සියල්ලම මැවූ දෙවින්ගේ මනස බලාගත හැක. String Theory එවැනි තවත් උත්සායයකි.

අදේවවාදීන් මෙයට අභියෝග කරන්නේ සියල්ලම දෙවියන් විසින් මවන ලද නම් දෙවියන් මැව්වේ කවුරන්ද යන්නයි. නමුත් කාලය ආරම්භ වන්නේ මහා පිපුරුමෙන් පසුව නිසා ඊට පෙර ගැන ඇසීම තේරුමක් නැති ප්‍රශ්නයකි යන්න දේවවාදීන්ගේ පිළිතුරයි. තවද දෙවියන් කාලයෙන් හා අවකාශයෙන් ස්වායත්ත වූවක් ලෙස (සෑම කල්හිම හා සෑම තැනවහිම සිටන) අර්ථ දැක්වේ. මෙය මා හට අනුවනම් ගණිතයෙහි එන මූලික අර්ථ දැක්වීමකට(mathamatical axiom) සමානවේ. එවිට දෙවියන් නැතැයි යනුවෙන් කිසිවෙකුටත් ඔප්පු කල නොහැක.

"විශ්වය යෝධ ඉබ්බෙකුගේ පිටමත ඇත. එම ඉබ්බා සිටින්නේ තවත් එවැනිම ඉබ්බෙකු මතය. එම ඉබ්බා ද ....... " මෙයද වැරදියැයි ඔප්පු කළ නොහැක.