Saturday, June 28, 2008

දේවවාදය හා අදේවවාදය

මෙම ලිපිය ලිවීමට මට සිත් වූයේ ස්වීඩන වැසියන්ගේ ආගමික ඇදහීම් ගැන සෙවීමෙන් පසුවය. ස්වීඩන් වැසින්ගේ පාරම්පරික ඇදහීම වූයේ Paganisam නම් ඇදහීමේ ක්‍රමයය. එහි ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස පරණ උප්සාලා(Gamla Uppsala) පල්ලිය පැවතිනි. පසුව කතෝලිකකරනය වී ඉන් පසුව ප්‍රොතෙස්තන්ත බවට පත් විය. අවුරුදු දෙකකට පෙර ස්වීඩනයේ 75% පමණ පල්ලියේ සාමාජිකයන් වු අතර නිතිපතා ආගමික වතාවත් වලට සහභාහී වූ පිරිස 2% ක් පමනක් විය. බොහෝ දෙනා පල්ලියේ සාමාජිකත්වයෙන් ඉවත් වෙමින් සිටිති. මෙයට පල්ලියට බදු ගෙවීමට සිදුවීමද හේතුවකි. පල්ලියෙන් ඉවත් වූ පසු ඔවුනට පල්ලියේ විවාහ වීමට අවස්ථාව නොලැබේ.

තවද බොහෝ දෙනා දෙවියන් විශ්වාස කිරීමෙන්ද වලකිති. මෙයට ප්‍රධාන හේතුව වන්නේ ස්වීඩනයේ පාසල් වල සියළුම ආගම් පිළිබඳව උගන්වනු ලැබීමයි. ඉන් පසු ඔවුන් තරුණ වියට පත් වූ විට තමන් කැමති ආගම තෝරා ගනිති. සියළුම දේනා පාහේ අදේවවාදීන් (atheists) බවට පත් වෙති. මෙය තරුණ (< අවු 45:-) )පිරිස අතර පවතිනක් යැයි මම සිතා සිටියෙමි. නමුත් මට හමුවූ වයසක කාන්තාවක් පැවසූ ආකාරයට බොහෝ දෙනාහට දෙවියන් පිළිබඳ විශ්වාසයක් නොමැත. ඇයට අනුව පල්ලි ආරක්‍ෂා කල යුත්තේ ඒවා අලංකාර හා පෞරාණික වටිනාකමකින් යුත් ගොඩනැගිලි නිසාය. දේවවාදීන් හා අදේවවාදීන් අතර වාදය අද බටහිර ප්‍රබල ලෙස දැකීමට ඇත. මෙම දෙපිරසම බටහිර විද්‍යාත්මක ලෙස තමන්ගේ මතය ප්‍රබල ලෙස ඉදිරි පත් කරති. දේවවාදීන් අතර කැපී පෙනෙන විද්‍යාඥයින් ඇත. මාගේ අදහස අනුව Stephen Hawking, Albert Einstein වැනි විද්‍යාඥයන් දේවවාදීන් වු අතර Richard Dawkins වැන්නවුන් දෙවියන් විශ්වාස නොකරති.

අදේවවාදීහු පරිණාමවාදය දෙවින්ගේ මැවීමට එරෙහි ප්‍රධාන අවියක් කර ගනිති. Richard Dawkins තමන්ගේ "The God Delusion" නැමති කෘතිය මගින් දෙවින්ගේ පැවැත්ම ගැන ප්‍රශ්න කරයි. එහි පෙර වදනෙහි ඔහු "තනි පුද්ගලයෙකු මුලාවක හෝ මායාවක සිටින විට එය උමතුවකි, නමුත් පිරිසක් ඉන්නා විට එය ආගමකි." යන පාඨය Robert Pirsig ගේ කෘතියකින් උපුටා දක්වයි.


දේවවාදීහු දෙවියන්ගේ පැවත්ම සනාත කිරීම සඳහා සෘජු හා වක්‍ර ක්‍රම උපයෝගී කර ගනිති. මහා පිපුරුම් න්‍යායය මේ සඳහා ප්‍රධාන ලෙස උපයෝගී කරගනු ලබති. එනම් විශ්වයට ආරම්භයක් ඇතිනම් එය නිර්මාණය කරන ලද්දක් විය යුතුය බවයි. එනම් සර්ව බලධාරී දෙවි කෙනෙකුන් සිටිය යුතුය. අයින්ස්ටයින් හා හෝකින්ස් ඇතුලු විද්‍යාඥයෝ විශ්වයේ සියලු දේ විස්තර කල හැකි න්‍යායයක් සෙවිමට උත්සාහ කරමින් සිටිති. එය කිරීමට හැකි වුව හොත් ඔවුනට සියල්ලම මැවූ දෙවින්ගේ මනස බලාගත හැක. String Theory එවැනි තවත් උත්සායයකි.

අදේවවාදීන් මෙයට අභියෝග කරන්නේ සියල්ලම දෙවියන් විසින් මවන ලද නම් දෙවියන් මැව්වේ කවුරන්ද යන්නයි. නමුත් කාලය ආරම්භ වන්නේ මහා පිපුරුමෙන් පසුව නිසා ඊට පෙර ගැන ඇසීම තේරුමක් නැති ප්‍රශ්නයකි යන්න දේවවාදීන්ගේ පිළිතුරයි. තවද දෙවියන් කාලයෙන් හා අවකාශයෙන් ස්වායත්ත වූවක් ලෙස (සෑම කල්හිම හා සෑම තැනවහිම සිටන) අර්ථ දැක්වේ. මෙය මා හට අනුවනම් ගණිතයෙහි එන මූලික අර්ථ දැක්වීමකට(mathamatical axiom) සමානවේ. එවිට දෙවියන් නැතැයි යනුවෙන් කිසිවෙකුටත් ඔප්පු කල නොහැක.

"විශ්වය යෝධ ඉබ්බෙකුගේ පිටමත ඇත. එම ඉබ්බා සිටින්නේ තවත් එවැනිම ඉබ්බෙකු මතය. එම ඉබ්බා ද ....... " මෙයද වැරදියැයි ඔප්පු කළ නොහැක.

3 comments:

Anuradha Ratnaweera said...

මා දුටු බොහෝ හේතුවාදීන් කියාගන්නා අය (rationalists) අදේවවාදය ම “අදහති”. නමුත්, හේතුවාදය යනු විද්‍යාවයි. බුදුන් දෙසූ “හේතු පල වාදය” ද එය මයි.

මා දකින අයුරින්, දේවවාදීන් හා අදේවවාදීන් දෙපිරිසම තම දැක්ම මෙසේ ඇදහීම නිසා, ඔවුන් හේතු[පල]වාදීන් හෝ විද්‍යාඥයින් සේ දැක්විය නොහැකි යි.

මගේ පුද්ගලික දැකම නම් “මා මෙතෙක් දෙවියෙකු ගැන පිළිගත හැකි සාක්ෂියක් දැක නැති නිසා එය නොපිළිගනිමි. එහෙත් අනාගතයේ එවැන්නක් හමු වූවොත් මගේ අදහස වෙනස් කිරීමට මැලි නො වෙමි.” බටහිර agnosticism දසුන ට මෙන්ම බුදුන් “කාලාම සූත්‍රයෙන්” දෙසූ දහමට ද එය එකඟ බව සිතේ.

රාජිත උඩවල්‍‍පොල said...

අනුරාධ,
පළමු ඡේදයේ "නමුත්, හේතුවාදය යනු..." යන්න ඔබගේ අදහසද නැතිනම් හේතුවාදීන්ගේ අදහසද? "නමුත්" යන්නෙන් ඔබගේයැයි ගම්‍ය වේ. දෙවන ඡේදයේ "තම දැක්ම මෙසේ ඇදහීම නිසා" යන පාඨයේ "මෙසේ" යන්නනෙන් අදහස් වන්නේ කුමක්ද?

මම කාලාම සූත්‍රය කියෙව්වෙමි. නමුත් හරිම අදහස ගැනීමට නොහැකි විය. මා තේරුම් ගිය ලෙස agnosticism දසුනෙහි ප්‍රධාන චින්තනය වන්නේ දෙවියන්, විශ්වය වැනි දේ ගැන අපට දැන ගත නොහැක යන්නයි. මෙයට මමද එකඟ වෙමි. බුදුන් වහන්සේත් මෙවැනිම අදසක් දැරුවත් දෙකම එකක් නොව යැයි හැඟේ. තව දුරටත් හැදෑරිය යුතුය. එම තොරතුරු වලට ස්තුතියි.

දෙවියන් නැතැයි පෙන්විය නොහැක. නමුත් ඇතැයි කියා පෙන්වන දෙයෙහි වරදක් ඇත්නම් එය දැකිය යුතුය. මාගේ අදහස් අනුව යම් ඇදහීමක් බලෙන් අනුන්ට පැටවීම් නොසුදුසුය. එනිසා දෙවියන් ඇත එය විශ්වාස කරන්න යැයි බල කිරීම වැරදිය.


##################
මම කියව්වේ කාලාම සූත්‍රයේ තුරුදැලෙහි ඇති ඉංග්‍රීසි පරිවර්තනයයි.
කාලම සුත්‍රයෙහි හරි දෙය වැරදි දෙය වර්ග කරන ආකාරයද තිබෙන්නේ? එය බුදුන් කාලාමටම කියු එකක් ලෙස හැගේ. එම දෙය ආධ්‍යාත්මික වශයෙන් නොදියුණු අයෙකුට නොගැලපේ. මා හට අනුවනම් ත්‍රිපිටකයේ එන සුත්ත එය එය දෙසූ අවස්ථාවත් සමඟ ගත යුතුය.

නාමල් උඩලමත්ත said...

ලොව සියලු ආගම් දේවවාදී ය. දේවවාදී නොවන්නේ බුදු දහම පමණි. එය එසේ වන්නේ බුදුන් දෙසුවේ ආගමක් නොව දර්ශනයක් නිසා ය. සර්ව බලධාරි දෙවියෙක් ගැන එහි නූගැන්වේ. දෙවියන්ට පිං දෙනු විනා දෙවියන්ගෙන් පිහිට යැදීමක් ද ඊට අදාළ නැත.

කෙසේ වුව ද දේවවාදය බිහිවන්නේ තමාට අවබෝධ නොකර ගත හැකි සංසිද්ධි මත දේවාත්මය ආරෝපනය කර විසදුම් සෙවීමෙනි. එහිදී තමාට පාලනය කිරීම අපහසු සියල්ල දේව කැමැත්තට බැර කෙරේ. මාක්ස් ආගමට අබිං යයි කීවේ මේ අරුතිනි. මිනිසා විඳින නේක දුක්ඛ දෝමනස්ස සෝක පරිදේව ආගම් විසින් දේව කැමැත්ත යයි මිනිසාට උගන්වා සැබෑ සතුරා ඔහුගෙන් වසං කරතැයි මාක්ස් පැවසුවේ ය.

අවාසනාවට මාක්ස් බුදු දහම දැන සිටියේ නැත.තමාට පිහිට තමාම යයි බුදුහු දෙසූ හ. 20 වන සියවසේ විසූ ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයා වන බට්‍රම් රසල් වරක් පැවසුවේ තමා දාර්ශනිකයෙකු නිසා ආගම් පිළිනොගන්නා බව සහ පිළිගන්නේ නම් ඒ බුදු දහම බව ය.එහෙයින් දෙවියන් පිළිබඳ විශ්වාසයක් මට නැත. දෙවියන් විසින් ලෝකය නොමැවූ අතර මිනිසා විසින් දෙවියා මැවීයයි මම අදහමි.