Sunday, July 13, 2008

දෙවියන්, කර්මය හා නිවන

සර්ව බලධාරී දෙවියන් සියළු දේ මැවූ බව සමහර ආගම් වල විශ්වාසයයි. මෙම විශ්වාසය මා හට පිළිගත නොහැක. නමුත් එම ආගමික විශ්වාසය වැරදි බව කා හට හෝ කිව නොහැක. එසේ වන්නේ එම කරුණු අපගේ පන්ච ඉන්ද්‍රියන්ගෙන්(මනසත් සමඟ හයකි) ඔබ්බෙහි නිසාය. නමුත් එය විශ්වාස කිරීමට වඩා අවිශ්වාස කිරීමට කරුණු මා හට ඇත. මගේ අදහස වන්නේ දෙවියන් යනු අපට විස්තර කිරීමට නොහැකි දෙයක් විස්තර කිරීමට යොදා ගන්නා සංකල්පයක් බවයි.

දේව සංකල්පය මෙන් අපට නොදැනෙන දේ විස්තර කිරීමට යොදා ගන්නා සංකල්ප අනෙකුත් ආගම් වලද දක්නට ඇත. කර්මය ඉන්දියානු ආගම්වල යම් යම් සිදුවීම් විස්තර කිරීමට යොදා ගනිති. හින්දු, බෞද්ධ හා ජෛන යන ආගම් වල කර්මය විවිධ ආකාර වලට විස්තර කෙරෙති. මා හට තේරුම් යන ලෙස කර්මයද අපට විස්තර කිරීමට අපහසු සිදුවීම් විස්තර කිරීමට යොදා ගන්නා සංකල්පයකි. මෙයද දෙවියන් මෙන් අපගේ සංවේදනයට හසු නොවන සංකල්පයක් වේ. නැතිබව කිව නොහැක ඇතිබවක්ද නොපෙනේ. බුදු දහමේ කර්මය ප්‍රතික්‍ෂේප නොකරන නමුදු එයට ඉහළ තැනක් දී නොමැත.

මෙම සංකල්ප වලට පක්‍ෂ පිරිස නගන තර්කයක් නම් මේවා සත්‍ය හෝ අසත්‍ය වුවත් මෙමගින් මිනිසුන් වැරදි දේ කිරීමට නොපෙළඹෙන බවය. නමුත් වැරදි දේ කරන්නෝ දෙවියන් හෝ කර්මය ගැන හෝ නොසලකති. ලෝකයේ ආගම වෙනුවෙන් කොපමන මිනිසුන් සංඛ්‍යාවක් මිය යනවාද. එසේම හොඳ දෙයක් කිරීමට දෙවියන් හෝ කර්ම ඵලය අවශ්‍ය නොවේ.

නිවනද බෞද්ධ අප විශ්වාස කරන තවත් සංකල්පයකි. අපගේ පරම පැතුම නිවන් දැකීමයි. නිවන ඉහත සංකල්ප දෙකෙන් වෙනස් වේද නොවේද. නිවන් ලඟා කරගත් විට අපට නැවත ඉපදීමක් නොමැත. මතු පිටින් බැලූ විට නිවනද ඉහත සංකල්ප වලින් වෙනස් නොවේ.

නමුත් මා හට අනෙකුත් සංකල්ප වලට වඩා නිවන වෙනස් බව සිතේ. බුදු දහමේ දුක හා දුකට හේතුව පිළිබඳ කර ඇති විස්තරය සත්‍ය ලෙස ගත හැක. එබැවින් දුක නැති කිරීමේ මාර්ගය හා දුක නැති කිරීමද සත්‍ය විය හැක. එනම් සියලු දුක් වලින් තොර නැවත ඉපදීමක් නැති නිර්වානයද සත්‍ය විය හැක. (අසත්‍යද විය හැක. නිවන් අත්දුටුවන් එය දන්නවා ඇත.) දුකට අමතරව බුදු දහමේ අනිත්‍ය හා අනාත්ම බව පිළිබඳව කර ඇති විස්තරද ඉතා විශිෂ්ඨය.

නමුත් මේ ලෝකයේ ඇති සියලු දේ අපගේ මනස විසින් ඇති කරන ලද මායාවක් බව සත්‍යයකි. කාලය, අවාකාශය යන මායාවල් තුලින් අපගේ ලෝකය අප මවාගෙන ඇත. මා මෙම සටහනේදී උත්සාහ කලේ සත්‍යය කුමක්ද අසත්‍යය කුමක්ද යන්න තේරුම් ගැනීමටයි. නමුත් සත්‍ය හා අසත්‍ය යන සංකල්පද අපගේ මනස විසින් පන්ච ඉන්ද්‍රියන්ගේ උපකාරයෙන් නිර්මාණය කළ දේ නොවේද?

1 comment:

Kasun said...

බුදු දහමේදී කර්මය ගැන කියවෙන්නෙ 'චේතනානම් භික්ඛවේ කම්මං වදාමි' කියලා. ඒත් කර්මය කියන දේ සමාජගත වෙලා තිබෙන්නේ ඒ අයුරින් නම් නෙවෙයි. හොඳම උදාහරණය තමයි යම් අසාධාරණයක් හෝ නැතිනම් දුප්පත්කමේ ආගාධයට වැටෙමින් ඉන්නා මිනිසුන් 'මේ අපේ කරමෙ තමයි' 'ලබා උපන් හැටි' කියලා හිත හදා ගැනීම. තමාට අද මුදල් නැත්තේ ගිය ආත්මයේ දන් නුදුන් නිසාත්, ඇඳුම් පැලදුම් නැත්තේ ගිය ආත්මයේ ඒවා දන් නුදුන් නිසාත් යන මතය ඉතා තදින් සමාජගත වී තිබෙන්නක්. යමෙකුට තර්ක කල හැකියි මේ තුල මිනිසුන් යහපත් හැසිරීම් හා යහපත් සිතුම් පැතුම් ඇත්තන් වන බව, ඒත් ප්‍රායෝගික තත්වය මේක නොවෙයි.!!?

මේ ගැන යම් සංවාදයකට පසුබිම සැලසීම ගැන ස්තූතියි.