Thursday, July 24, 2008

හෙට සිංහළ

සිංහ"ළ" යුනිකේත භාවිතයත් සමඟ සිංහළෙන් ලියන්නන් ගණන ඉහල යමින් ඇත. එහි ප්‍රතිඵලය වූයේ බස පිළිබඳ සංවාද බස පිළිබඳ වියතුන් නොවන අප අතරද ඇති වීමයි. මෙම සටහටහන තැබීමට සිත්වූයේ සිංහළ බ්ලොග්කරුවන්ගේ එකතුවේ සිදු වූ සංවාදයක් නිසාය. එහිදී මතුවු අදහසක් නම් මුර්ධජ අකුරු ඉවත් කීරීම සිංහළයේ අනාගත පැවැත්මට හිතකර වේය යන්නය. මෙලෙසින් සිංහළ නවීකරණය කිරීම සඳහා වූ අදහස අඩ සියවසකට පමණ පෙර ඉදිරිපත් වූ අදහසක් බව මා හට දැනගැනීමට ලැබිනි. මෙලෙස සිංහළය රැක ගැනීමට ඉදිරපත් වී ඇති ප්‍රධානම කරුණු දෙක මෙම වියණු සටහණින් උපුටා දක්වමි.

-------------------
(1) මූර්ධජ අකුරු, බැඳි අකුරු ඉවත් කර පිලි සහ හල් අකුරු සමරූප කල යුතුයි.

(2) වියරනය ජීවමාන බසේ (ඒ කියන්නේ කතා කරන භාශාවේ) වියරනය විය යුතුයි. අලුත් වියරන නීති රීති හදනවා නම් ඒවාත් උපුටාගත යුත්තේ කතා කරන බසේ රීතිය තුලින්.
--------------------


මෙවිට සිංහළය රැකෙන්නේ කෙසේද? මෙවිට සිංහළ බසෙහි ඇති සංකීරණතා ඉවත් වී එය භාවිතා කිරීමට පහසු වේය යන්නය. මෙම අදහස 1960 ගණන් වල සිට ඉදිරිපත් වෙමින් තිබෙන අදහසක් බව පැහැදිලිය. මට අවබෝධ වන ලෙසට මෙහිලා මූලිකත්වය ගත්තේ යුරෝපීය සරසවි වලින් නූතන වාග් විද්‍යාව හදාරා පැමිණි අය සහ ඔවුන්ගේ ගෝල බාලයන්ය. මෙම පියවර මඟින් සංකීරණතා ඉවත්වේය යන්නට මමද එකඟ වෙමි. නුමුත් සංකීරණතා යන්න සාපේක්‍ෂ මිණුමක් පමණි. සංකීරණතා ඉවත් කිරීම (මෙය ඉවත් වීමක් නොවේ ඉවත් කිරීමකි.) කොතනින් අවසන් වේද?

බසක් සැමදා එක ලෙස නොපවතින බව සැබෑව. සිංහළවල ආකාර දෙකක් ඇත. එනමි ලියන බස හා කතා කරන බස යනුවෙනුයි. නමුත් නුදුරු අනාගතයේදීම ලියන බසෙහි ආකාර දෙකක් ඇතිවීම වැලකිය හැකි නොවේ. එනමි දැනට පවතින ලියන බස හා කතා කරන අයුරින් ලියන බස. මෙයට ප්‍රධානම හේතුව වන්නේ කලින් (වියරණ අනුගමනය කළ) සීමිත පිරිසක්‍ යෙදුන සිංහළෙන් ලිවීම , යුනිකේත නිසා විශාල පිරිසක් අතර පැතිර යාමය. එලෙස බස වෙනස් වීම වැලකිය හැකි නොවේ. විලිපියක්(email) කතාකරන බසින් ලිවීමෙන් වඩා සමීප බවක් දැනේ. නමුත් තර්කානුකූලව තේරුම් ගත යුතු දෙයක් එලෙස ලිවීමෙන් තවත් අවුලට පත්විය හැක. එනිසා මේ ආකාර දෙකම ඉදිරියේදී තුරුදැලේදී අපට හමු වෙනු ඇති. නමුත් මෙලෙස සිංහළ බස රැක ගැනීමට යැයි කියමින් මුරධජ ඉවත් කිරීම, කතා කරනබසේ වියරණ පිළිගත් වියරණ බවට පත් කිරීම වැනි බලෙන් කරන වෙනස්කම් වලට පිරිසක් විරුද්ධ වනනේ මන්ද යැයි විමසා බැලීම වටී.

ලෝකය සත්‍ය වූ එකම දෙයක් ඇත. එකම නියමයක් ඇත. එය ඇත්තේ බටහිර දැනුමෙහිය. එනිසා සෑම දෙයක්ම එක් දෙයකට ඌනනය කිරීම (unifiction) ඔවුන්ගේ උත්සාහයයි.

1. අද ලෝකයේ විද්‍යාවන් ඇත්තේ එකක් පමණි. එයට හේතුව එය නිවැරදි වීමද? (භෞතික විද්‍යාවේ එන හේතු දැක්වීම් කතන්දර පමණක් බව එය යන්තම් හෝ උගත් අයට වැටහෙනවා ඇත) එය දියණු වූයේ අනෙකුත් දැනුම් පද්දතීන්ගෙන් දැනුම උරාගෙන එය තමන්ගේ දැනුමක් බවට පත් කරගැනීමෙනි. ඉන්පසු එම ජාතීන් තම බලය හා සිප්ලකුව(තාක්‍ෂණය) යොදා එම දැනුම අන් ජාතීන් මත බලෙනි පැටවීමෙනි.

2. වෛද්‍ය විද්‍යාව කී විට සිහියට නැගෙන්නේ බටහිර වෙදකම මිස අන්කිසිවක් නොවේ. විද්‍යාවේම කොටසක් වුවත් වෙනම ඉදිරිපත් කළේ තවම ඉතිරි වූ වෛද්‍ය ක්‍රම දක්නට ඇතිනිසයි. නමුත් මෙම සියළු දැනුම් ඔවුන්ගේ ක්‍රමය තුල ක්‍රියාත්මක කිරීමත් සමඟ අනෙක් ක්‍රම නැතිවී යනු ඇත.

3. ලෝකයේ දැනට ඇති ප්‍රධානම ආගමික හා සංස්කෘතික ගැටීම ක්‍රිස්තියානි හා ඉස්ලාම් ගැටීමයි. මෙයට මා දකින ලෙස හේතුවනම් ආක්‍රමණකාරී(වර්තමානයේ සංස්කෘතික ලෙස.) ක්‍රිස්තියානි ආගම දැඩිමතධාරී ඉස්ලාම් ආගම සමඟ ගැටීමයි. මෙය ඔවුන් අතින්ම හොඳින් විවරණය වි ඇති Samual Huntington ගේ Clash of Civilizations යන ලිපිය බලන්න.

බස යනු සංස්කෘතියක කොටසකි. යම් සංස්කෘතියක් විනාශ කිරීමට ඇති හොඳම මගකි එම රැසෙහි බස මැරීම. මෙයට ඔවුන් හොඳින්ම යොදා ගත්තේ එංගලන්තයේ හා ඇමෙරිකාවේ "SINHALA" ඉගෙනුමට ගිය පඬුවෝය. මේ තත්ත්වය මැනැවින් දුටුවකු වශයෙන් හැඳින්විය හැකි රැ. තෙන්නකෝනුන් සිය සිදත් සඟාවේ 'සුලමුල' යටතේ සෝපහාසයෙන් සඳහන් කැර ඇති පහත සඳහන් කැඩියෙන් කියන්නේ කිමෙක් දැ'යි බැලුව මැනැවි.

"මේ ඉංගිරිසි පඬුවන් ගෙන් සිය බසට පැමිණෙන විපත ආදි සකු මග ද පඬුවන් ගෙන් එයට පත් පිරිපතට වැඩියෙන් දරුණුයි. දැන් මූ තුමු සිය බසින් ඇති පතට පොතට හා සිය බසටත් කොට කලිසම් අඳවන්නට පටන්ගෙන සිටිති."
(උපුටා ගැනීම 2007-10-14, සිළුමිණ "වාග්විද්‍යාඥයා වියරණ ඇදුරා ගේ කාර්යයට අත ගැසීම" ලිපියෙනි.)

එසේ උගෙන පැමිණි "නූතන වාග් විද්‍යාඥයන්ගේ" හා ඔවුන්ගෙන් පැචතෙන්නන් පැතිරවූ අදහස වූයේ "සංවරව ලිවීමට ව්‍යාකරණයක් අවශ්‍ය ය යන්න බොරුවක්, අදහස වැටැහේ නම් කෙසේ ලියුවත් වරද කි ම, කතා කරන සැටියෙන් ම ලිවීමේ වරද කිමෙක් ද, ප්‍රකාශන විධිවල හරි වැරැදි කියා යමක් නැත. බසට තිබිය හැක්කේ එක ම සම්මත ව්‍යාකරණ විධියක් පමණක් නොවේ" යන්නය.

මා හට තේරුම්යන ආකාරයට මෙවැනි අදහස් පැතීරීමට ප්‍රධානම හේතුව වූයේ බටහිර සරසවි වලදී උගත් වාග් විද්‍යාව පිළිබඳ මූලධර්ම ගෙඩි පිටින් සිංහළ බසට ආරෝපනය කිරීමයි. තවද වාග් විද්‍යාඥයින් තමන්ගේ රාජකාරිය වන භාෂා විශ්ලේෂණය පසෙකින් තබා බස වෙනස් කීරීමට යාම අනෙක් හේතුවයි. (ඉහත සිළුමිණ ලිපිය කියවන්න.)

වාග් විද්‍යාව යනු කිමක්දැයි සෙවීමට මම තුරුදැල්සැරියක් ගියෙමි. මෙම ක්‍ෂේත්‍රයේ මා හට ඇති දැනුම අඩු වුවත් සිදුව ඇති දේ වඩාත් පැහැදිළි විය. විකීපීඩියාවට අනුව වාග් විද්‍යාවේ අරමුණ ( විකියේ මෙසේ පැහදිලි කර ඇත) බස පිළිබඳ හැදැරීමයි. නමුත් ලංකාවේ වාග් විද්‍යාඥයෝ මේවා උගෙනවුත් සිංහළට ගෙඩිපිටින් යෙදූහ. ඉන් නොනැවතුන ඔවුහු සිංහළ බස වෙනස් කීරීමටද පටන් ගත්හ.

බටහිර භෞතික විද්‍යාවේ එන ඌනනය කිරීමේ න්‍යායය බටහිර සමාජ විද්‍යාඥයින් යොදාගත් ආකරයයි මේ. නූතන වාග් විද්‍යාවේ ප්‍රධානතම පඩුවෙක ලෙස සැලකෙන යුදෙව් ජාතික Noam Chomsky ගේ න්‍යායන්ගේ පදනම මෙයයි.

Linguist Noam Chomsky made the argument that the human brain contains a limited set of rules for organizing language. In turn, there is an assumption that all languages have a common structural basis. This set of rules is known as universal grammar.


මෙම සමාජ විද්‍යාඥයින් බටහිර භෞතික විද්‍යාඥයින් අනුගමනය කළද ඔවුන්ගේ න්‍යායන් වලට භෞතික විද්‍යාවේ තරම් පදනමක් නොමැත. නිව්ටන් පඬුවාගේ න්‍යායන් අයින්ස්ටයින් පඬුවා(මෙයින අයින්ස්ටයින්ගේ න්‍යායය නිවැරදියැයි අදහස් නොකෙරෙ.) වැරදියැයි කීවද අපට නිවුටන්ගේ න්‍යායයන් උපයෝගී කරගෙන ගුවනින් බෝම්බයක් නිවරදි ඉලක්කයට දැමිය හැක (මෙය උදාහරණයක් පමණි.). නුමුත් අපගේ පඬුවෝ මෙම මතවාද ගෙඩිපිටින් සිංහළට යොදා ගැනීමට පටන් ගත්හ.

මට වැටහෙන ලෙස Linguistic_minimalism හා එවැනිවූ තවත් ක්‍රම වලින් සන්නද්ධ වූ අපගේ පඬුවෝ මුරධජ ඉවත් කිරීම, ව්‍යවහාරයෙන් වියරණ නීති සැදීම පටන් ගත්හ. ලංකාවේ පළමු වාග් විද්‍යාඥයා වන සුගතපාල ද සිල්වා පඩුවානන්ගේ අදහසක් 2007-06-17, සිළුමිණ "බස අවුල් වූ දාට සියල්ල අවසන් ය‍" ලිපියෙන් උපුටා දක්වමි.

" 'මම යනවා' කියනවා වෙනුවට 'මම යමියි' කියන ලෙස උගන්වන්නට යොදන කාලය ඊට වඩා ප්‍රයෝජනවත් දෙයකට යොදාගත හැකියි."

මොවුන්ගේ ප්‍රධාන වැකියක් වනනෙ සිදත් සඟරාවේ එන "වහරනු සෙරෙන් සපයා" එනම ව්‍යවහාරය ඇසුරෙන් සපයන්න. එනම් වත්මන් ව්‍යවහාරයේ එන මෙම වදන් (අසභ්‍ය යැයි සිතිය හැකි දේ තිබිය හැකියි) හා මෙවැනි කියුම් වැනි දේදැයි මා හට පැනයක් ඇත. නුමුත් මොවුහු මෙහි පළමු පදය සඟවති. සම්පූරණ වැකියනම් "අනු රූ සේ පියෝනන්- වහරනු සෙරෙන සපයා" එනම් "උගතුන්ගේ යෙදීම් අනුව, ව්‍යවහාරය ඇසුරෙන් සපයන්න." යන්නයි.

නමුත් මෙම පඬුවන් (පඬියන් යන්නද සමාන පදයකි.) කරන එක් හොඳ දෙයක් ඇත. එනම් මෙවැනි දේ බලෙන් පටවන්නට යාමයි. මෙවිට සිදුවන්නේ ප්‍රතිරෝධයක් ඇති වී (මෙය නිව්ටන්ට අනුව සමාන හා ප්‍රතිවිරුද්ධ නොව, අගයෙන් වැඩි ප්‍රතිවිරුද්ධ බලයකි) ස්වභාවිකව සිදුවන වෙනස් වීමත් ප්‍රමාද වීමයි. මට කීමට ඇත්තේ මෙපමණයි "හෙළයිනි හෙළ බස රැක ගනිව්" යන්නයි.

ප. ලි. වියරණ හෝ වචන වල දොසක් ඇත්නම් පවසනු මැන.

No comments: