Monday, July 21, 2008

වියරණ දොස් පෙන්වනු මැන.

මම දින කීපයට පෙර හෙළ බස නැවත ඉගනුම ඇරඹුවෙමි. මාගේ වියුණු සටහන් වියරණ දොස් රහිතව ලිවීමයි මාගේ වෑයම. එනිසා මාගේ වියණු සටහන්වල වියරණ දොස් තිබේනම් පෙන්වා දුන මැනවි. ඔබට පිං.

වියුණු සටහන නැවත ලිවීමට ඇරඹූ දිනවල මැයක් නොමැතිව සැරිසරන විට මගේ සිත, ඇසුණි කන්කලු ගීතයක්. සිතුවෙමි තබන්නට සටහනක් ඒ ගැන.

කනට මී පැණි වක්කරන්නාක් බඳු වූ ගීතය සිත්විය ඇසීමට නැවත වරක්. නමුත් මේ වර දුටුවෙමි වියරණ දොසක්.


ගහක මල් පිපිලා - පිපෙන්නේ ඇයි ද නොදන්නෙමී
හිතක මල් පිපිලා - පිපෙන්නේ ඇයි ද නොදන්නෙමී
නුඹට සිත බැඳුනේ කිමැයි - මා තවම නොදන්නෙමී
නුඹට සිත බැඳි කාරනේ - මම තවම සොයන්නෙමී

තාලය රැකීමට එය කළා විය හැකියි. නමුත් "මම යනවා" වැනි කතා කරන බසින් ලීවිමටත් වඩා එය වැරදි නොවේද?


ප.ලි. : කනට මී පැණි වක් කල විට කනට කූඹින් නොපැමිණේද? :-)

ගැට පදය: මැය = මාතෘකාව

4 comments:

සු said...

මෙය දුටුවාම ලියන්න හිතුණා. මං ඒ තරම් දොස් පෙන්වන්න කැමති නැහැ.නමුත් පොඩි කාලේ ඉඳන් නරක පුරුද්දක් තියෙනවා මා පාසලේ ඉගෙන ගත් ව්‍යාකරණයට පිටින් යමක් ලියා ඇත්නම් එය නිවැරදි කර මිසක් කියවන්නට හිතෙ‍න්නේ නැති. ඉතින් හැමෝම එයට කැමති නැහැනේ.

ඔබ ලියා ඇති "සටහන් වල" යන්න "සටහන්වල' යනුවෙන් තනි වචනයක් ලෙස ලිවිය යුතුය යන්න මා අසා තිබෙනවා මතකයි. "වල" යන්න ප්‍රත්‍යයක් ලෙස එකතු වන විට හැම විටම එය පෙර වචනයට එකතු වූ විට නිවරදි ලෙස ශබ්ද වන බවත් නැතහොත් "ව" යන්න විවෘත ලෙස ශබ්දවන බවත් මා අසා තිබෙනවා.

අනෙක් කාර‍ණය නම් 'ඇසුණි/කළ' යනුවෙන් අතීත කෘදන්තවලදී‍/අතීත කාලය හඟවන විටදී නිතර එම වචන මූර්ධජ/සඤ්ඤක අකුරුවලින් ලිවිය යුතු බවත් අසා තිබෙනවා.

ඔබත් තවත් අයගෙන් අසා සැක හැර දැනගන්න. මේ මා අසා තිබෙන දේවල් තමා ඉතින්....සදොස් වේ නම් මා ද නිවරදි කරන්න.

: )

රාජිත උඩවල්‍‍පොල said...

'වල' ගැන කියූ දේ හරි යැයි හිතේ. ඇසුණි/කළ ගැන කියූ දේත් නිවැරදියි. මා තවත් අයෙක්ගෙන් අසා බලන්නම්.

මාගේ වියුණු සටහන් ඔබට හැකි පමණින් නිවැරදි කරන්න. ඔබට පිං.

නාමල් උඩලමත්ත said...

නිවැරදි බසින් ලියන්ට ඔබ දරන වෙහෙස අගයමි. අප අදහස් මැනවින් අනෙකාට පැවසිය හැක්කේ නිවැරදි වියරණයෙන් ද අක්ෂර වින්‍යාසයෙන් ද මුවහත් වූ බසකිණි. කෙසේ වුව ද නිර්මාණකරුවා මේ රීති ඇතැම් විට කඩකරයි. සුනිල් ආරියරත්න ලියූ නන්දා මාලනිය ගැයූ ගීයක 'ගමේ චණ්ඩි ... පැන ගෙන ආවා ය' කියලා තිබේ. යෙදුමේ උත්ප්‍රාසය වියරණ දොස යටකර මතු වී රස සදනවා නේද? එය කිසිසේත් නොදැන කළ වරදක් නම් නොවේ. යමුනා මාලනී ලියූ 'ගහක මල් පිපිලා' ගීතයේ වියරණ බිඳීම නම් හුදෙක් මාත්‍රා සමතාව ආරක්ෂා කිරීම හැර වෙසෙස් සේවයක් නොකරයි. පැරණි සංස්කෘත සාහිත්‍යයේ එන පරිදි කවියාට කළ නොහැක්කක් නොමැත. එහෙත් ප්‍රකාශනයේ අර්ථෝද්දීපනයට හානිකර නොදැන කරන වැරදිවලින් මුවා වන්ට එම ප්‍රකාශ යෙදැවීම නොහොබියි.

නජාත් අක්‍රම් said...

මට නම් හිතෙන්නේ ආරියරත්නගේ පද රචනයේ ඇති
"ගමේ චන්ඩි ස්ටැන්ලි ද ආවා ය" කියන යෙදුමට වඩා යමුනා මාලිනිගේ යෙදුමේ දෝෂයක් පවතිනවා.

නිර්මාණකරුවාට වියරණ නීති බිඳ දමමින් යාමේ හැකියාවක් තිබෙනවා. එය ඔහුගේ අයිතියක්. ඒ අයිතිය භාවිත කිරීමේ දී එකී රීති බිඳීමෙන් මතු කරන ලද සාහිත්‍ය රසය මුල් වරද නිවැරදි කරවිය යුතුයි. නන්දා මාලිනීගේ ගීතයෙන් මේ වරද නිවැරදි වුණත් දිවුල්ගනේ ගයන ගීතයේ එතරම්ම ම ඒ කාර්යය සිදු වෙන්නේ නැහැ. නමුත් පෞද්ගලිකව මගේ කැමැත්ත නම් ගහක මල් පිපිලා ගීතයට.

ඔබ සඳහන් කළ වරද නිවැරදි වී නම් ඇත්තට ම එය සුපිරි ගීතයක්!
ජය වේවා!!