Friday, August 8, 2008

ඔලිම්පික් 2008

වසර හතරකට වරක් පැවැත්වෙන ලොව විශාලතම ක්‍රිඩා උළෙල වන ඔලිම්පික් උළෙල අද එනම් 08-08-08 ප.ව. 08:08:08 ට, චීනයේ බීජිං නුවර අති උත්කර්ශවත් ලෙස ඇරඹේ. මෙම ක්‍රීඩා උළෙල ආසියාවට ලඟාවන තෙවන අවස්ථාවයි. (මීට පෙර ජපානයේ(1964) හා දකුණු කොරියාවේ (1988) පැවැත්වී ඇත) චීනය ලොව නැගී එන බලවතා ලෙස තමන්ගේ ශක්තිය පෙන්වීමට මෙම උත්සවය යොදා ගන්නවාට සැකයක් නොමැත.

ඔලිම්පික් යනු මාධ්‍ය වලට ඉතාම කාර්ය බහුල කාල වකවානුවකි. බටහිර මාධ්‍ය කල් තියාම වැඩ ඇල්ලුවෝය. ඒ ඔලිම්පික් ගිනිසිළුව හා නිදහස් ටිබෙට් අරගලය සැබඳිවයි. එකි නොකි සියළු දේ බටහිර මාධ්‍ය රස කරමින් අනුභව කළෝය. රාජ්‍ය නොවන සංවිධාන චීනය මානව අයිතිවාසිකම් කඩ කරන රටක් වශයෙන් හන්වඩු ගැසූහ. ඩාෆූර් වල ගැටළුව සැබඳිවද චීනයට චෝදනා කළහ. ඔලිම්පික් උළෙල වර්ජනය කරන ලෙස පැවසූහ. ඉන් පසු ටිබෙට් අරගල බලය යොදා මර්ධනය කළ බව කීහ. බීජිං වල වාතය සෞඛ්‍යට අහිතකර බව පැවසූහ. සමහර ක්‍රිඩකයෝ තරගාවලියට සහභාගී වීමෙන් ඉවත් වූහ. කිසිවෙක් වර්ජනයට සැරසුනේ නැත. ඇමෙරිකාවට සළු ඇඳගෙන එසේ කිරීමට නොහැකිය. ඒ මන්ද යත් 1980 දී ඇමෙරිකාව ඇතුළු රටවල් මොස්කොව් ඔලිම්පික්ස් උළෙල වර්ජනය කිරීමෙන් පසු 1984 දී එකට එක කිරීමක් ලෙස සෝවියට් සමූහාණ්ඩුව හා නැගෙනහිර ජර්මනිය ඇතුළු රටවල් ලොස් ඇන්ජලීස් නුවර තිබූ උළෙල වර්ජනය කළ විට ඇමෙරිකාවේ පිහිටට පැමිණියේ චීනයයි. එය චීනයේ පළමු ඔලිම්පික්ස් උළෙල වූ අතර රන් පදක්කම් 15 ක්ම දිනා ගැනීමට හැකි විය. ඇමෙරිකාව වර්ජනය නොකර අන් රටවල් වර්ජනය කරන්නේ නැත. එනිසා වර්ජන බිය පහ විය.

සීතල යුද සමයේදී ඇමෙරිකාව හා සෝවියට් ජනරජය අතර වැඩි පදක්කම් වලට සටනක් විය. නමුත් සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමෙන් පසු ඇමෙරිකාව එහි රජ විය. මේ අතර චීනය ලෝක බලවතෙක් ලෙස නැගී එන්නට විය. එනිසා ඔවුන්ද ඔලිම්පික් උළෙලේ වැඩි පදක්කම් පොරයට එක් විය. චීනයට පසු ගිය අවස්ථා තුනෙහි පිළිවෙලින් රන් පදකකම් 16, 28 හා 32 ක් දිනා ගැනීමට හැකිවිය. ඇමෙරිකාව දිනා ගත්තේ පිළිවෙලින් පදක්කම් 44, 36 හා 36 කි. චීනය පසුගිය ඔලිම්පික් උළෙලේ දී ඇමෙරිකාවට වඩා රන් පදක්කම් 4 අඩුවෙන් ලබා දෙවෙනි ස්ථානයට පත් විය. මෙවර චීනයට පළමු තැන ගත හැකි වෙද?

මේ අතර මාධ්‍ය වල නොයෙකුත් නව අංඟ එක් වන්නට විය. චීන චාරිත්‍ර පිළිබඳ විශේෂඥන් තෙල දසුනේ මතු වන්නට විය. චීනයේදී කෑම කන විදිහ, බඩු කේවල් කරන ආකාරය, ආචාර කරන අයුරු කියා දෙන වෙසෙසු (විශෙෂඥ) චීනුන් පන්ති පවත්වන අයුරු දැක ගත හැකි විය. මෙහෙදී කියූ එක් දෙයක් වූයේ සෑම චීන ජාතිකයෙක් ලඟම පාහේ ව්‍යාපාරික කාඩ් පත් (business card) ඇති බවයි. සුහද බව හඟවන දෙයක් ලෙස කාඩ්පත් හුවමාරු කරගන්නා නිසා කාඩ් රැගෙන යන ලෙස පැවසිනි. කාඩ් දිය යුත්තේ අත් දෙකෙන්ම අල්වා අකුරු එම පුද්ගලයා දෙසට සිටින ලෙසටලු. තවද චීන ඉතිහාසඥයෝ, මහා ප්‍රාකර වෙසෙසුවෝ තෙල දසුන බදු අරගෙන සිටිති. මේ අතර මාධ්‍ය වේදීන් විබ(web) වාරණය කර ඇතැයි මහා කාලගෝට්ටියක් නගන්නට විය. මෙයට මැදිහත් වූ චීන බලධාරිහු ඔලිම්පික් ගම්මානය තුල පමණක් වාරණය ඉවත් කළහ. නමුත් ටිබෙටය සම්බන්ධ විබ පිටු තවම වාරණයට යටත්ය. චීනය තුල විරෝදතා පැවැත්වීමට විසෙස්(ව්ශේෂ) තැන් තුනක් වෙන් කර ඇත. විරෝධතා පවත්වන්නන් කලින් දනුම් දී අවසර ගත යුතුය. විදෙස් වැසියන් රටට ඇතුළු වන විට අවසර ලබා ගැනීමට ඉල්ලුම් කළ යුතුය. තවම සුළු විරෝධතා හැරෙන්නට තත්වය සාමකාමීය.

මෙවර මාගේ සිත් ගත් තරග කීහිපයකි. මීටර් සියය පිරිමි තරගය මා සිතන ලෙස ඇති උනුසුම්ම තරගය වේ. වත්මන් ලෝක වාර්තාව හිමි උසේන් බොල්ට් (තත්. 9.72), පෙර ලෝක වාර්තාව හිමිව තිබු අසෆා පවෙල් (තත්. 9.74) හා ලොව මෙතෙක් වාර්තාකර ඇති අඩුම කාලය (තත්. 9.68 ) හිමි ටයිසන් ගේ අතර තරගය ගැන කතා කිම. එසේම පිරිමි ටෙනිස් කේවල තරගය සහ මයිකල් ෆෙලෙප්ස් ගේ රන් පදක්කම් 8 හි ඉලක්කයද මාගේ ප්‍රියතම ඉසව්‍ වේ.

කුමන බාධා පැමිණියත් මෙම උළෙල අති උත්කර්ශවත් ලෙස පැවත් වෙනු ඇත. චීනයේ පැවැත්වෙන මේ 2008 ඔලිම්පික් උළෙල මුළු ආසියාවටම ආඩම්බරයක් වේ. නමුත් මාගේ සිතේ එක් පැනයක් ඇත. එනම් 4008 ඔලිම්පික් උළෙලවත් ලංකාවේ පැවෙත්වීමට හැකි වේද කියාය.

1 comment:

නාමල් උඩලමත්ත said...

වැදගත් තොරතුරු බොහොමයක් අන්තර්ගත ලිපියෙකි. මෙවර බොහෝ විට චීනය පදක්කම් සටනේ පෙරමුණ ගනු ඇති බව මගේ විශ්වාසයයි.
චීනය 2040 ලෝක බලවතා වනු අති බවට අනාවැකි පළවිණි. ඒ තත්ත්වය ලෝක බල තුලනයකට මග පාදනු ඇතැයි ද අපේ බටහිර ගැතියාව තුනී වීමට හේත්‍ර වනු ඇතැයි ද සිතමි.
ඔබ අවසන මතු කළ පැනය අදින් වසර 100ට පෙර දීන ජාතිකයෙක් ද විමසු බව බීබීසීයට කතා කළ දීන නිලධාරියෙක් කීවේ ය.
මෙවර ප්‍රථම වතාවට අපේ ක්‍රිඩකයින් 8 දෙනෙක් ඔලිම්පික් වරම් ලැබීම පිළිබඳ අප සතුටු විය යුතු අතර ඒ අයට සුබ පතමු!